බණ්ඩාරවෙල රෙස්ට් හවුස් අධිකරණය හමුවේ වරද පිළිගනී
උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල රෙස්ට් හවුස් (ක්ලස්ටර් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම) ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවේදී, විත්තිකාර සමාගම අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව රු. 1,000,000/-ක (රුපියල් මිලියනයක) දඩ මුදලක් නියම කර ඇත.
2026 සැප්තැම්බර් 23 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී, උපරිම සිල්ලර මිල රු. 120/-ක් ලෙස නියම කර තිබූ මිලිලීටර් 1000ක (ලීටර් 1ක) බෝතල් කළ පානීය ජල බෝතලයක් රු. 200/-කට අලෙවි කර ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව අදාළ ආයතනයට එරෙහිව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලද අතර, 2026 ඔක්තෝබර් 07 වන දින විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් මිලියනයක දඩයක් නියම කරන ලදී.
- පාරිභෝගික ඔබේ අවධානයට!
බෝතල් කළ පානීය ජලය ඇතුළු උපරිම සිල්ලර මිලක් නියම කර ඇති භාණ්ඩ මිලදී ගැනීමේදී, අදාළ භාණ්ඩය සඳහා නීතියෙන් නියම කර ඇති උපරිම මිල පිළිබඳ අවධානය යොමු කරන්න.
හෝටලයකින්, අවන්හලකින් හෝ වෙනත් වෙළෙඳ ආයතනයකින් භාණ්ඩයක් මිලදී ගත්තද, අදාළ වන උපරිම සිල්ලර මිල පිළිබඳ නීතිමය අවශ්‍යතා පිළිපැදීම වෙළෙඳුන්ගේ වගකීමකි.
උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම නීති විරෝධී වන අතර, එවැනි උල්ලංඝනයන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගනු ලබයි.
මෙවැනි අසාධාරණ මිල අය කිරීම් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන්න.















