එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද නීති විරෝධී මුදල් යොදවා ඔහුගේ පුත්‍රයා, පියා සහ තවත් සමීපතමයෙකුගේ නමින් දේපල මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ තොරතුරු මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන සිදු කරමින් පවතී.
ඒ අනුව එම කාර්යංශය මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව අදාල දේපල විකිණීම, පැවරීම හා වෙනයම් ක්‍රියාදාමයක් සිදු කිරීම වැළැක්වීම පිණිස 2026.10.08 දින සිට දින 14 ක කාලයක් පහත දේපල සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇත.
- බොරලැස්ගමුව දෙහිවල පාරේ පිහිටි රුපියල් කෝටි 03 ½ ක් පමණ වටිනා කමින් යුත් කායවර්ධන මධ්‍යස්ථානය.
- දඹුල්ල තිත්තවැල්ගොල්ල පිහිටි රුපියල් කෝටි 03 ½ ක් පමණ වටිනාකමින් යුත් රූඩ් 06 පර්චස් 03 ක ඉඩමක් තුල ඉදි කරන ලද සංචාරක නිවස්නය, රූඩ් 17 පර්චස් 01 ක ඉඩමක ඉදිකරන ලද නිවස හා රූඩ් 02 පර්චස් 05 ක ප්‍රමාණයේ වගා ඉඩම
- යක්කල ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 03 ක් පමණ වටිනාකමින් යුත් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක පිහිටි නිවස
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














