මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයකට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙනවා – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා
ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන සහ නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ විවෘත කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත ක්ෂේත්‍රයේ ධනාත්මක පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙන අතර, ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණය සමග ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබා දීමට මෙන්ම අදාළ රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙම මධ්‍යස්ථානයෙන් කටයුතු කෙරෙනු ඇත.
“ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත අංක C-80 ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙන අතර එහි ප්‍රධානී ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුක්ගොඩ මහතා කටයුතු කරයි.
මෙයට සමගාමීව https://nbfc.presidentsoffice.gov.lk වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත කිරීමද සිදු විය.

මෙහිදි අදහස් දැක්වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා,
මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමට ලැබීම අපිට ලොකු ධෛර්යයක්. විශේෂයෙන්ම මෙවැනි ආයතනයක් ආරම්භ කිරීම ව්‍යාපාරිකයින්, ආයෝජකයින් ආණ්ඩු ගණනාවකින් බලාපොරොත්තු වූ දෙයක්. අපි කර්මාන්ත හා ව්‍යාවසායකත්ව කටයුතු අමාත්‍යාංශයේ වැඩ කටයුතු ආරම්භ කළ දවසේ සිට මෙය සියලුම වාණිජ මණ්ඩලවල, අපනයනකරුවන්ගේ ව්‍යවසායකයින්ගේ ඉල්ලීමක් බවට පත්ව තිබුණා.
අපි පසුගිය වසර දෙකම මෙවැනි ආයතනයක් පිළිබඳ සැලසුම් ඇතිවයි වැඩ කළේ. කර්මාන්ත අමාත්‍යාංශය තනිව වැඩ කරන ආයතනයක් නෙවෙයි. අපි සියලු අමාත්‍යාංශ සහ ආයතන සමග එකට වැඩ කරනවා.
ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමට නොහැකි වීම අපි මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්. අපේ දේශපාලන ස්ථාවරය නිසා, නීතියේ සාධාරණත්වය නිසා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්, විදේශ ආයෝජකයින්, ලංකාවට ආයෝජන ගෙනත් තියෙනවා. ඉල්ලීම් ගොඩක් ඉදිරිපත් වී තිබෙනවා.
මේ හැමෝම මුහුණ දෙන ලොකුම ගැටලුව තමයි ඉඩම් ප්‍රශ්නය. ඉල්ලීම් ඉදිරිපත් වෙන වේගයට ඉඩම් නිරවුල් කර දෙන්න මධ්‍යස්ථානයක් නැහැ. අපේ විවිධ ආයතනවලට අදාළ ඉඩම් තිබෙනවා. සමහර හිස් ඉඩම් තිබුණාට ඒවාට නඩු තිබෙනවා. මේවා තමයි ප්‍රශ්න. ආයෝජකයන් ඉඩම් නිරවුල් කරලා දෙනතුරු බලා ඉන්නේ නැහැ. ඔවුන් විකල්ප තැන්වලට යනවා. ඊළඟ ප්‍රශ්නය මූල්‍ය පහසුකම් ලබාදීම. එතනත් ගැටලු තිබෙනවා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය තමයි රේගුව ආශ්‍රිතව තිබෙන ගැටලු. ඒ කටයුතු සරල කිරීම. දැන් මේ ආයෝජකයින්, ව්‍යාවසායකයින් බදු ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. ඒවා ගෙවන්න ලෑස්තියි. ඒවාට ප්‍රතිලාභ ලැබෙන බවට ඔවුන් තුළ දැන් විශ්වාසයක් නිර්මාණය තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ මේ කටයුතු පහසු කිරීමයි. ඒ සඳහා මේ ආයතනය විශාල ශක්තියක් වෙනවා.
කාලයක් තිස්සේ ඇමැතිවරු පදිංචිවෙලා හිටපු තැන් මේ වගේ වැඩකට යොදා ගැනීම ප්‍රතිඵලදායක දෙයක්. මේක කර්මාන්ත අමාත්‍යාංශයට තිබෙන සහායක සහෝදර ආයතනයක් ලෙසයි අපි සළකන්නේ. ස්වාධීනව ජනාධිපති ලේකම්තුමාගේ අධික්ෂණය යටතේ පවතින ආයතනයක්. සමහරු හිතාගෙන ඉන්නවා ලබන වසරේ අපට විදේශ විනිමය අඩුවෙයි කියලා. එහෙම වෙන්න දෙන්නේ නැහැ. ක්ෂේත්‍ර කීපයක් යටතේ නව ආයෝජන කැඳවා ගැනීමට අපි කටයුතු කරනවා. ඛනිජ සම්පත් ක්ෂේත්‍රය නව ආයෝජන වැඩිම ක්ෂේත්‍රයක් ලෙස ආයෝජන කැඳවාගන්න ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය අපි ක්‍රියාවට නංවනවා.ඒ වගේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීමටත් අපි සැලසුම් කර තිබෙනවා.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා
අපේ ආණ්ඩුවට තිබෙන ජනවරම සහ වගකීමත් සමග මේ රට පරිවර්තනය කරා ගෙන යාමේදී ආර්ථිකය ප්‍රධාන කුලුනක් වෙනවා. එහිදී ආර්ථික වර්ධනයත්, ආර්ථික සංවර්ධනයත් අත්පත් කරගත යුතුයි. මේ වසර දෙක ඇතුළත ආයෝජකයන්, ව්‍යාපාරිකයන් මුහුණ දී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ඉදිරියට ඇවිත් තිබෙනවා. තව අභියෝග ගණනාවක් ඉදිරියේදී ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා. මේ සියලු කාරණා ඉටු කිරීමේදී ලෝක අවිනිශ්චිතතාවයන් කෙරෙහිද අප අවබෝධයෙන් සිටිය යුතුයි මේ මොහොත වන විටත් ලෝකයේ අවිනිශ්චිත තත්ත්වයන් තිබෙනවා. විදේශ විනිමය, අපනයන, ආනයන ආදායම, මූල්‍ය ක්ෂේත්‍රය කෙරෙහිත් අප නිරතුරුවම අවබෝධයෙන් සිටින බව පැවසිය යුතුයි.
මේ ක්‍රියාදාමයෙන් කරන්නේ හුදෙක්ම ව්‍යාපාර පහසුකම් සැපයීමයි. මේක හොඳ ප්‍රවේශයක්. මේ ප්‍රවේශය ඔස්සේ ඔබ සම්බන්ධ වෙන්න. සවිමත් කණ්ඩායමක් මෙතැන සිටිනවා. මේ ගත් උත්සාහය සම්බන්ධව ඔබ සියලු දෙනාට ස්තූති වන්ත වෙනවා. පොහොසත් රටක් නිර්මාණය කිරීමට අප සියලු දෙනා දායක වෙමු.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
අපි අද මේ ‘ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය’ ආරම්භ කරන්නේ, රටේ පවතින විශාලම අවශ්‍යතාවයක් ඉටු කරමිනුයි. මෙය ජනාධිපතිතුමාගේ සංකල්පයක්. අපි දන්නවා මෙය රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙමින් පවතින අවස්ථාවක්.
එබැවින්, අපගේ ආර්ථිකය තවදුරටත් ප්‍රසාරණය කිරීමට නම්, මෙම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් වී තිබෙනවා. මෙරට වෙළඳපොළ යම් සීමාවකට යටත් නිසා, අප අපනයන ක්ෂේත්‍රය කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. මෙම කරුණු දෙකම සලකා බලා ඊට විසඳුමක් ලෙසයි අපි ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයේ මූලික කාර්යභාරය සහ වගකීම නිර්මාණය කර තිබෙන්නේ.
මෙම ‘ව්‍යපාර පහසුකම් මධ්‍යස්ථානය’ සාමාන්‍ය One-Stop Shop එකක් නෙවෙයි. ඊට එහා ගිය, අමාත්‍යාංශ ගණනාවක් එකතු කරමින්, ව්‍යවසායකයන්ගේ ගැටලුවලට පහසුවෙන් විසඳුම් ලබා ගත හැකි පරිදි පවතින පද්ධති වෙනස් කරන මධ්‍යස්ථානයක්. පෞද්ගලික සහ රාජ්‍ය අංශයන්හි මනා සම්බන්ධීකරණයෙන් යුතුව ව්‍යවසායකයින්ට උපරිම සේවයක් සැලසීමට අප කටයුතු කරනවා.
ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්සී වලි අරුක්ගොඩ මහතා
ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව මෙම මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙනවා. මම මේ ගැන පර්යේෂණ කරනකොට හොයාගත්ත එක දෙයක් තමයි, ලෝකයේ දර්ශකවලට අනුව ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒක කරගෙන යාමේ පහසුව ගැන හොයලා බැලුවොත්, ශ්‍රී ලංකාව ඉන්නේ 79 වෙනි ස්ථානයේ (2025 දී). සිංගප්පූරුව තමයි පළමු ස්ථානයේ ඉන්නේ. ඒ උප-දර්ශක ටික දිහා බැලුවාම අපිට තේරෙනවා ඉඩමක් අත්පත් කරගන්න, ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න කොච්චර කාලයක් ගත වෙනවාද කියලා. මෙම ක්‍රියාවලිය පහසු කිරීම පිළිබඳ අපේ අවධානය යොමු වුණා.
අද දින සිට මේ මධ්‍යස්ථානයේ සියලුම කටයුතු මහජනතාවට විවෘත කරලා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. රජය බලාපොරොත්තු වන ආර්ථික පරිවර්තනයට සහාය වීම අපේ අපේක්ෂාවයි.
මෙහි විශේෂත්වය වන්නේ කිසිම කෙනෙකුට මේ කාර්යාලයට එන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ ගෙදර ඉඳන් ඒ තියෙන ප්‍රශ්නය යොමු කරලා, අදාළ ලියකියවිලි ඉදිරිපත් කළාම, අපි ඒ ව්‍යවසායකයන් වෙනුවෙන් අදාළ රාජ්‍ය ආයතන සමඟ කටයුතු කරලා ඒ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය පියවර ගන්නවා.
විසඳීමට නොහැකි නීතිමය හෝ ප්‍රතිපත්තිමය ගැටලු තියෙනවා නම්, ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය සතු ජාතික මෙහෙයුම් කමිටුව මගින් රජයට යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වන්නේ රටේ අලුත් ව්‍යාපාර බිහිවීමට අවශ්‍ය පහසුකම් සැලසීමත්, දැනට තියෙන ව්‍යාපාර තවදුරටත් ව්‍යාප්ත කිරීමට සහ ඉදිරියට පහසුවෙන් කරගෙන යාමට අවස්ථාව සලසා දීමත් බව කිවයුතුයි.
KIK ව්‍යාපාර සමූහයේ සභාපති ලලිත් කහටපිටිය මහතා
වසර ගණනාවක සිට පැවති සිහිනයක් අද සැබෑ වී තිබෙනවා. ඇත්තටම මෙවැනි ආයතනයක් නිර්මාණය කිරීම සම්බන්ධව ජනාධිපතිතුමාට අපගේ ස්තූතිය සහ ගෞරවය හිමි වෙනවා. අප සියලු දෙනා මේ ආයතනය තුළින් ප්‍රයෝජනයක් ගත යුතුයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු අදාළ ආයතනවල ප්‍රධානීන් සහ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















