මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වෙන 2026.08.18 වන දින සිට 2025.08.28 වන දින දක්වා කාලය තුළ මහනුවර නගරය වෙත පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ සහ සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කර ඇත.
පෙරහැරේ ආරක්ෂක රාජකාරි සඳහා මෙවර පොලිස් නිලධරයන් 6200 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයන් 564 ක්, ත්‍රිවිධ හමුදා නිලධරයන් 1200 ක්, සිවිල් ආරක්ෂක නිලධරයන් 29 ක්ද අනුයුක්ත කරගැනීමට කටයුතු සංවිධානය කර ඇති අතර සුපුරුදු පරිදි ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහයද ලබාගැනේ.
2026.08.18 දින සිට 2026.08.22 දින දක්වා කුඹල් පෙරහැර, 2026.08.23 දින සිට 2026.08.27 දින දක්වා රන්දෝලි පෙරහැර, 2026.08.28 දින දිවා පෙරහැර පැවැත්වීමෙන් පසු ඇසළ මහ පෙරහැර කටයුතු අවසන් වීමට නියමිතව ඇති අතර පෙරහැර පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරයට පිවිසෙන ස්ථාන 14 ක් ආවරණය වන පරිදි මාර්ග බාධක රාජකාරි ක්‍රියාත්මක කර ආරක්ෂාව තර කිරීමට කටයුතු කෙරේ. රථවාහන ගාල් කිරීම සඳහා රථ ගාල් 13 ක් (සැහැල්ලු වාහන රථ ගාල් 06 සහ බරවාහන රථ ගාල් 07) මහජනතාවගේ පහසුව සඳහා වෙන් කර ඇත.
පෙරහර කාලසීමාව තුලදී මහනුවර නගරය මඟහැර රථවාහන ගමන් කිරීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් දැනුම්දෙන්නෙමු.
විකල්ප මාර්ග
කටුගස්තොට සිට පේරාදෙණිය හරහා කොළඔ, නුවරඑළිය දෙසට ගමන් කල යුතු රථවාහන – කටුගස්තොට පාලම අසලින් ගොහාගොඩ මාර්ගය ඔස්සේ පේරාදෙණියට ගමන් කල හැකිය.
කොළඔ සිට මහනුවර හරහා කුරුණෑගල මාතලේ මහියංගනය දෙසට ගමන් කරන රථවාහන – පේරාදෙණිය ගොහාගොඩ මාර්ගයෙන් පැමිණ කුරුණෑගල දෙසටද, මාතලේ දෙසටද, මඩවල හරහා මහියංගනය දෙසටද, ගමන් කල හැකිය.
මහනුවර සිට මහියංගනය බදුල්ල දෙසට ගමන් කරන රථවාහන – මහයියාව බිංගෙය අසලින් ධර්මාශෝක මාවත ඔස්සේ තැන්නේකුඹුර හරහා බදුල්ල, මහියංගනය දෙසටද ගමන් කල හැකිය.
සැහැල්ලු වාහන රථ ගාල්
- KMC රථගාල
- කරලිය රථගාල
- ඇහැලේපොල කුමාරිහාමි මාවත රථගාල
- සහස් උයන රථගාල
- දුම්රියපොල අසල රථගාල
- ගන්නෝරුව මාර්ගයේ එක් පසක රථගාල
බරවාහන රථ ගාල්
- ටොරිංටන් බස්නැවතුම්පොල
- බෝගම්බර බස් නැවතුම්පොල
- අළුත්ගම ධම්මානන්ද මාවත රථගාල
- ඔරලෝසු කණුව බස්නැවතුම්පොල
- දුම්රියපොල හන්දිය සිට ළමාගාරය පාර රථගාල
- බෝගම්බර බන්ධනාගාරය ඇතුළත රථගාල
- YMBA අසල රජපිහිල්ල බස් රථගාල














