රාජ්‍ය විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 91,495 කට මහපොළ සහ ශිෂ්‍යධාර දීමනා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 91,495කට මේ වන විට  මහපොළ  සහ ශිෂ්‍යධාර දීමනා හිමි වන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවාය.   

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්වවිද්‍යාලයන්හි, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන  ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60,380කට  මහපොළ දීමනාව ද,  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්වවිද්‍යාලයන්හි, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සහ සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන  ශිෂ්‍ය ශිෂ්‍යාවන් 31,115කට  ශිෂ්‍යධාර දීමනාව ද  මෙලෙස ලබා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි  රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට  පිළිතුරු ලබා දෙමින්  ගරු අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

මහපොළ දීමනාව යටතේ (මහා භාණ්ඩාගාර දායකත්ව මුදල රු.5,200/-ක් සහ මහපොළ අරමුදල් දායකත්ව මුදල රු.4,800/-ක්) එක් සිසුවෙකුට ලැබෙන මුළු මුදල රු.10,000/-ක්  වන අතර ශිෂ්‍යධාර දීමනා යටතේ (මහා භාණ්ඩාගාර දායකත්ව මුදල) එක් සිසුවෙකුට ලැබෙන මුළු මුදල රු.9,000/-කි.  

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන  එක් සිසුවෙකුට මහපොළ  දීමනා ලෙස  රු. 7500/-ක් ද ශිෂ්‍යධාර  දීමනා ලෙස  රු. 9000/-ක් ද හිමි වේ. 

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හා සාගර විශ්වවිද්‍යාලයේ (නිපුණතා සිසු සවිය ශිෂ්‍යධාර ක්‍රමය) යටතේ ඉගෙනුම ලබන  එක් සිසුවෙකුට පාඨමාලාවට නියමිත මාසික අධ්‍යයන පැය ගණනින් අවම වශයෙන් 90% ක් සහභාගී වී ඇත්නම් රු. 7500/- ක සම්පූර්ණ ශිෂ්‍යධාරය ද, (දේශන සහභාගිත්වය 75% – 89% අතර වේ නම්  රු. 6500/- ක ශිෂ්‍යධාරයක් ද  මාසික ව හිමි වේ. එසේම, 75% ට අඩු පැමිණීමක් සහිත සිසුන් සඳහා ශිෂ්‍යධාර හිමි නොවේ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා මහපොළ හා ශිෂ්‍යධාර දීමනා ලබා දීම සඳහා අවශ්‍ය භාණ්ඩාගාර දායකත්ව මුදල් මාසයේ මුල් දිනවල ලබා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කටයුතු කරන අතර, එම මුදල් ලැබුණු විගස මහපොළ භාරකාර අරමුදල හා විශ්වවිද්‍යාල වෙත යොමු කෙරේ. වෘත්තීය තාක්ෂණ සහ සාගර විශ්වවිද්‍යාල (නිපුණතා සිසු සවිය): වෘත්තීය පුහුණු ආයතනවලින් කාර්තු පාදක ඇස්තමේන්තු ලැබීමෙන් පසු අදාළ අත්තිකාරම් මුදල් එම ආයතන වෙත ලබා දී, මාසිකව සිසුන්ගේ බැංකු ගිණුම් වෙත ශිෂ්‍යධාර මුදල් බැර කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website