බන්ධනාගාර ගැටලුවලට විසඳුම් සොයන්නේ නම් මේ අඳුරේ අතපාත ගාන එක නතර කළ යුතුයි – නීතිඥ ශිරාල් ලක්තිලක

ඔ්නෑම ප්‍රශ්නයක් හඳුනා ගැනීමට නම් ප්‍රශ්නයේ මුලට යා යුතුය. එවිට ලංකාවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳ ‘හරයාත්මක සාකච්ඡාවක්’ සමාජය තුළ සිදු නොවන බව වටහා ගැනීමට අවස්ථාව ලැබේ. ඒ බව සරල දත්ත දෙකක් ඇසුරින් පැහැදිලි කළ හැකිය.

ලංකාවේ බන්ධනාගාරවල සිටින රැඳවියන් අතරින් 60%-65%ත් අතර ප්‍රමාණයක් ‘රිමාන්ඩ් සිරකරුවන්’ වේ. මෙය බන්ධනාගාර ස්ථාපිත කිරීමේ අරමුණුවලට සම්පූර්ණයෙන්ම පටහැණිය. එසේම ලංකාවේ බන්ධානගාර සහ මහේස්ත්‍රාත් උසාවි දෙස බලන විට පෙනී යන්නේ ඔවුන්ගේ ධාරිතාවයෙන් 280%-300%ත් අතර ක්‍රියාත්මක වන බවයි. මෙහි සරල අදහස වන්නේ ලංකාවේ බන්ධනාගාර සහ මහේස්ත්‍රාත් උසාවි සිය ධාරිතාවය ද ඉක්මවා ගිය තත්ත්වයකින් කටයුතු කරන බවයි.

මෙසේ වෙන්නේ ඇයි ?

‘මෙය මෙසේ වෙන්නේ ඇයි ?’ යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට නම් යළි ප්‍රශ්නයේ මුලට යා යුතුය. එවිට ‘දියුණු සමාජවල පුරවැසියෝ සිරගත කරන්නේ ඇයි ?’ යන ප්‍රශ්නය උද්ගත වේ.

“මේ සංකල්පය එන්නේ කොතැනින්ද ?” මෙම ප්‍රශ්නයට නිසි පිළිතුරක් සොයා ගැනීමට හැකි නම් බන්ධානගාර ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රතිපත්තිමය සාකච්ඡාවකට යා හැකිය. එවැනි ප්‍රතිපත්තිමය සාකච්ඡාවකින් තොරව, බෝගම්බර සිර ගෙදර යළි විවෘත කිරීම වැනි සරල උපයා මාරු හරහා මෙම සංකීර්ණ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගත නොහැකිය.

සාමජ සම්මුතිය

වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල් පාලනය වන්නේ ‘සමාජ සම්මුතිය’ අනුවය. ප්‍රජාතන්තවාදී පාලන ක්‍රමයේ පදනම වන්නේ ද මේ සමාජ සම්මුතිය වේ. එවැනි සමාජ වල යම් යම් පුද්ගලයින් සිරගත කිරීම සිදුවේ. මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයා යාමේ දී දේශපාලන දර්ශනය සහ අපරාධ විද්‍යාව වෙත අවධානය යොමු කිරීමට සිදුවේ.

දේශපාලන දර්ශනය ගැන සාකච්ඡාවේ දී යළිත් ‘සමාජ සම්මුතිය’ වෙත අවධානය යොමු කිරීමට සිදුවේ. සමාජ සම්මුතිය මත ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල යම් පුරවැසියෙක් සමාජ සම්මුතියට එරෙහිව යන්නේ නම් ඔහුගේ ‘නිදහස අහිමි කිරීම’ සිරගත කිරීම මඟින් සිදුවේ.

එයට හේතුව මෙසේ පැහැදිලි කළ හැකිය. ‘හෝමෝ සේපියන් නම් වත්මන් මිනිසා සාමූහික, සමාජයීය සත්ත්වයෙක් වන අතර ඔහුට ආවේනික අයිතියක් වන්නේ ‘නිදහස’යි. නමුත් ඔහු සමාජ සම්මුතිය කඩ කළ විට ඔහුගේ ස්වභාවික නිදහස අහිමිකර ඔහු යම්කිසි කාලයකට සමාජයෙන් ඉවත් කර, ඈත්කර තැබිය යුතුය. සිරගත කිරීම (යම්කිසි අභ්‍යන්තර කුටියකට දැමීම) හරහා සිදුවන්නේ එයයි.

මේ ආරයෙන් සමාජ සම්මුතිය බිඳ දමන පුද්ගලයා සමාජයෙන් ඈත්කර තැබීම මෙහි මූලික පදනම වශයෙන් සැලකිය හැකිය.

අපරාධ විද්‍යාව

අපරාධ විද්‍යාවේ පදනම වන්නේ ‘වරදක් කළ විට වරදට බිය කිරීමට දඬුවම් කිරීම’ය. මෙහි දෙවන පියවර වන්නේ අදාළ පුද්ගලයාගෙන් සමාජයට යම්කිසි අවැඩක්, වරදක් සිදුවීමට හැකියාවක් පවතී නම් ඔහු සමාජයෙන් ඉවත්කර තැබීමය.

මේ සමඟ ‘අපරාධ යුක්තිය’ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. අපරාධ යුක්තිය පිළිබඳ සාකච්ඡාවේ දී සංකල්ප දෙකක් අපට හමුවේ. එහි පළමු සංකල්පය වන්නේ ‘ඇහැට – ඇහැක්’ හෙවත් යම්කිසි වරදක් කළේ නම් එයට ‘ආනිංශස / ප්‍රතිවිපාක’ තිබෙන බවයි. දෙවන සංකල්පය වන්නේ සමාජයට එරෙහිව යම්කිසි වරදක් කළ පුද්ගයා යළි පුනරුත්ථාපනයට ලක් කිරීමයි. විශුද්ධිකරණය කිරීමයි.

ලංකාවෙ අවාසනාව

ඉහත සංකල්ප මත නූතන ලෝකයේ බන්ධනාගාර ක්‍රියාත්මක වුව ද ලංකාව මුහුණ දෙන්නේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයකටය. ලංකාවේ තවමත් පවතින්නේ යටත් විජිතවාදී යුගයේ බන්ධනාගාරය සංස්කෘතියයි. එහි කේන්ද්‍රීය සාධකය වන්නේ බන්ධනාගාර නිලධාරීන් (ජේලර්) පිරිසක් විසින් බන්ධනාගාරය තුළ ගෙන යන පාලනයයි. එය මීගමුවේ වේවා, මහර හෝ වැලිකඩ වේවා වැඩි වෙනසක් නොමැත. සරලව ගත් කළ ‘මෙවැනි බන්ධනාගාර නිලධාරීන්ගෙන්, ජේලර්ලාගෙන් මීට වඩා වැඩි දෙයක් අපේක්ෂා කළ නොහැකි’ය. මෙම නිලධාරීන් පුහුණු කර තිබෙන්නේම ‘පහර දීම, වධ දීමට හෝ කළ හැකි අන් යමක් නොමැති නම් සිරකරුවා මරා දමා හෝ තත්ත්වය පාලනය කර ගැනීමටය.

“ යම්කිසි පුද්ගලයෙක් බන්ධනාගාර ගත කළ පසු ඔහුගේ ඇඳුම් ගළවා අධෝ මාර්ගය පරීක්ෂා කරනවා’ කියන කතාවේ පදනම වන්නේ’ ද මෙම යටත්විජිත වාදී මානසිකත්වය වේ. මෙතරම් තාක්ෂණය දියුණු ලෝකයක බන්ධනාගාරයක් තුළ මේ තරම් ප්‍රාථමික  සහ නින්දා සහගත තත්ත්වයක් බලාපොරොත්තු විය නොහැකි වුව ද ලංකාවේ එය ක්‍රියාත්මක වේ.

බන්ධනාගාර නිලධාරියාගේ අවුල

මේ ආකාරයේ අතිෂය ප්‍රාථමික සහ නින්දා සහගත තත්ත්වයක් තව දුරටත් මෙරට බන්ධනාගාර තුළ පැවතීම තුළින් පැහැදිලි වන්නේ ‘මෙරට බන්ධනාගාර නිලධාරීන් විශුද්ධිකරණ නිලධාරීන්’ ලෙස මේ දක්වා පරිවර්තන වීම හෝ ඔහුට ඒ සඳහා අවශ්‍ය පුහුණු ලබා නොදීමය. මේ තත්තවය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සම්බන්ධ සංවාදයේ දී කිසිසේත්ම අතහැර දැමිය නොහැකි හෝ මගහැර යා නොහැකි තත්ත්වයකි.‍

නව සංකල්පය කුමක් ද ?

ශ්‍රී ලංකාව තුළ මෙවැනි ප්‍රාථමික තත්ත්වයක් ක්‍රියාත්මක වුව ද වර්තමානයේ දියුණු ලෝකයේ බන්ධනාගාර සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් වී තිබේ. විශේෂයෙන් බටහිර රටවල තත්ත්වය සම්පූර්ණයෙන් දියුණු වී තිබේ. ලංකාව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ගැන පාඩම් ඉගෙන ගන්නේ නම් ‘නෝර්ඩික් ආකෘතිය’ ඒ සඳහා වැදගත්ය.

විශුද්ධිකරණයට ලක්කරන රැඳවියෙක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සුදුසුම ආකෘතිය ලෙස නෝර්ඩික් ආකෘතිය පිළිගැනේ.

මෙහි දී තවත් වැදගත් කරුණක් වෙත අවධානය යොමු කළ යුතුය.

මේ තරම් රැවියන් ඇයි ?

ශ්‍රී ලංකා බන්ධනගාරවල 65%ක් පමණ රැඳවියන් සිටී නම් එයට යම්කිසි ප්‍රබල හේතුවක් තිබිය යුතුය. මෙයට හේතුව නිර්මාණය වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇසුරිණි. මෙය ‘අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් අර්බුදයක්’ ලෙස සැලකිය හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සපුරාලිය නොහැකි ඇප කොන්දේසි දැමීම මානව හිමිකම් උල්ලංඝණයක් වන නමුත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ‘මානව හිමිකම් උල්ලංඝණයක් වශයෙන් සැලකෙන්නේ විධායකයේ ක්‍රියාමකින් සිදුවන හිමිකම් උල්ලංඝණයක්’ පමණය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායකයේ හෝ අධිකරණයේ ක්‍රියාවකින් මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදුවන බවක් නොසැලකේ.

නමුත් වත්මන් ලෝකයේ පිළිගත් සංකල්පයක් වන්නේ ‘අධිකරණය විසින් ප්‍රමාණය ඉක්ම වූ ඇප කොන්දේසි නියම කිරීම මානව හිමිකම් උල්ලංඝණය’කිරීමක් බවයි. මෙය ඉතාම පැහැදිලිව ‘සංවරණ හා තුලන ක්‍රමයක්’ වුවත් අවාසනාවට ලංකාවේ මේ ගැන අවම කතිකාවක් පවා නොමැත.

ලංකාවේ වත්මන් තත්ත්වය අනුව මානව හිමිකම් උල්ලංඝණය වීමක් ලෙස සැලකෙන්නේ, ‘මාසයක් ඇතුළත විධායකය අතින් සිදුවන සිදුවීමකක්’ පමණය. විධායකය නොවන අනෙක් ආයතන වෙතින් මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදුවන බව ලංකාව සලකන්නේ නැත.

නමුත් මෙය සත්‍ය හෝ යථාර්ථය නොවේ. විධායකය නොවන ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතින් ද අනුභූතිකව මානව හිමිකම් උල්ලංඝණයක් සිදුවේ. නමුත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සම්බන්ධ සංවාදයේ දී මේ ගැන කිසිම අවධානයක් යොමුවන බවක් දැකගත නොහැකිය.

පරණ නීති

බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සම්බන්ධ සංවාදයේ දී අමතක නොකළ යුතු තවත් වැදගත් අංශයක් ලෙස ‘පරණ නීති’ සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ 65%ක් රැඳවියන් සිටීමට මේ පරණ නීති සැලකිය යුතු බලපෑමක් කර ඇත.

1991 අංක 8 දරන රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවන් මුදා හැරීමේ පනත (මහේස්ත්‍රාත්වරයාට අධිකරණ බලය ලබා දෙන තවත් පනතකි, 1991 අංක 8 දරන රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවන් මුදා හැරීමේ පනත. මෙම පනත පැනවීමේ අරමුණ වී ඇත්තේ රිමාන්ඩ් භාරයට ගැනීමේ වරෙන්තු අනුව රඳවා ගෙන සිටිනු ලබන්නා වූ ඇතැම් වැරදි සම්බන්ධයෙන් චූදිත තැනැත්තන් අත්අඩංගුවෙන් මුදා හැරීම සහ ඊට අනුෂාංගික කාරණා සඳහා විධාන පැනවීමයි. පනතේ 2 වගන්තියෙන් පනත අදාළ වන්නේ කා හටදැයි දක්වා තිබේ) සම්මත කරනු ලැබුව ද ඒ සම්බන්ධයෙන් ‘කිසිවෙකුගේ’ අවධානයක් යොමු නොවන අතර එය මේ වන විට ‘යල්පැනගිය’ නීතියක් බවට පත්ව තිබේ.

1991 අංක 8 දරන රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවන් මුදා හැරීමේ පනත අනුව මහේස්ත්‍රාත්වරයෙකු මාසයකට වරක් ඇප කොන්දේසි නිරීක්ෂණය කිරීම සඳහා රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණිය යුතුය. එවැනි අවස්ථාවක ඉතාම ලිහිල් ඇප කොන්දේසි ඉටු කිරීමට නොහැකි වීම මත රිමාන්ඩ් කර සිටින සැකකරුවන් ‘ඒ අවස්ථාවේ දීම නිදහස් කිරීමට’ මහේස්ත්‍රාත්වරයාට බලය තිබේ. නමුත් මේ නීතිය සම්බන්ධයෙන් වත්මන් අධිකරණ ඇමතිවරයා කිසිවක් ම නොදන්නා බවක් පෙනේ. එපමණක් නොවේ නීති සමාජය තුළ පමණක් නොව පොදුජන සමාජය තුළ ද මේ ගැන කිසිම කිසිම උනන්දුවක් ඇති බවක් නොපෙනේ.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අවංක සාකච්ඡාවක් සිදුවන්නේ නම් මෙවැනි කාරණා සම්බන්ධයෙන් ද  දැඩි අවධානයක් යොමු විය යුතුය. විශේෂයෙන් ‘සමාජ සම්මුතිය මත ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී රටක රැඳවියන් සිටීම’ සමාජ සංවාදයට ලක්විය යුතුය. එපමණක් නොව ‘ප්‍රජාතන්ත්‍රවාදී රටක රැඳවියන්ට සහ සිරකරුවන්ට සැලකිය යුතු ආකාරය ද සමාජයේ අවධානයට ලක්විය යුතුය.

එපමණක් ද නොවේ අලුතින් බන්ධනාගාර ගණනාවක් විවෘත කළ ද රැඳවියන් සම්බන්ධ අර්බුදයට විසඳුමක් ලැබෙන ඇතැයි විශ්වාස කළ නොහැකිය. මෙම වර්ධනය අඛණ්ඩව සිදුවනු ඇති අතර, ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීමකින් තොරව බන්ධනාගාර අර්බුදය ජය ගැනීමට හැකියාවක් නැත.

මත්ද්‍රව්‍ය අර්බුදය

පොලිස්, අධිකරණ හා බන්ධනාගාර වාර්තා ඉතාම පැහැදිලිව පෙන්වා දෙන්නේ බන්ධනාගාර ගත වූවන්ගෙන් බහුතරය ‘විෂ මත්ද්‍රව්‍ය’ හා සම්බන්ධ බවයි. මෙහි දී උද්ගත වන ප්‍රශ්නය වන්නේ, අපරාධ විද්‍යාව අනුව කළ යුත්තේ ඔවුන් සමාජයෙන් ඉවත් කිරීම ද, නැතහොත් ඔවුන් ප්‍රතිශෝධනය කිරීම ද යන්නය.

මෙහි දී කළ යුතු වඩාත් සාර්ථක සහ ධනාත්මක දේ වන්නේ විෂ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වැරදි මත බන්ධනාගාර ගත වන පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීම තුළින් ඔවුන් පුනරුත්ථාපනය කිරීමය, ඔවුන් ඒවායින් මුදවා ගැනීමය. නැතහොත් සිදුවනු ඇත්තේ දිගින් දිගටම විෂ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවවට පත්වීම සහ ඔවුන් යළි යළිත් බන්ධනාගාර ගත කිරීමය. එය කිසිසේත් ප්‍රශ්නයට හෝ බන්ධනාගාර තදබදය අවම කිරීමට පිළියමක් නොවේ. සිදුවනු ඇත්තේ ගැටලුව අඛණ්ඩව වර්ධනය වීම පමණය.

වෙනම නීතියක් හා වැඩපිළිවෙළක්

මෙහි දී අවශ්‍ය නම් විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයින් පුනරුත්ථාපනයට වෙනම නීතියක් සහ වැඩපිළිවෙළක් සකස් කළ හැකිය. එවැනි තාර්කික හා තිරසර වැඩපිළිවෙළකින් සහ දැක්මකින් කරන සියලු දේ ‘අඳුරේ අතපත ගෑමක්’ පමණක් වනු ඇති බවට සැකයක් නැත.

එසේම මෙම ගැටලුවට විසඳුම් සෙවීමට පැති ගණනාවක් ද තිබේ. එහි දී මේ ගැටලුව දෙස ‘හරයාත්මක කෝණයකින්’ බැලිය යුතු බව යළි අවධාරණය කළ යුතුය. මෙහි දී මනෝවිද්‍යාත්මකව ‘සිරකරුවෙක් යනු කවුද ?, ඔහුට සමාජය විසින් සැලකිය යුත්තේ කුමන පදනමකින්ද ? යන්න පිළිබඳව අපට නිරවුල් අවබෝධයක් තිබිය යුතුය.

මෙම ප්‍රශ්නය දෙස ව්‍යුහාත්මකව ද සලකා බැලිය යුතුය. ලංකාවේ බන්ධනාගාර ප්‍රමාණය සිරකරුවන්ට ප්‍රමාණවත් වුව ද එය කිසිසේත් රැඳවියන්ට ප්‍රමාණවත් නැත. වත්මන් සාකච්ඡාව සිදුවන්නේ සිරකරුවන් සම්බන්ධයෙන් නොව රැඳවියන් සම්බන්ධයෙන් හෙයින් රැඳවියන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අප සංවේදී විය යුතුය.

මෙහි දී පැනනගින ප්‍රශ්නය වන්නේ රැඳවුම්භාරයේ සිටන රැඳවියන්ගේ ගැටලු සම්බන්ධයෙන් අප සතු විසඳුම් මොනවාද ? යන්නය. උදාහරණයක් ලෙස කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ එක කාමරයක (වාට්ටුව) රැඳවියන් 10-15 අතර ප්‍රමාණයක් සිටින අතර එය අධි ධාරිතාවක් ලෙස අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ඇතැම් රැඳවියන් වාර්තා කර තිබුණේ වාට්ටුවක ඇතැම් විට රැඳවියන් 25කට අධික පිරිසක් පවා සිටි අවස්ථා තිබූ බවය.

‘අපිට නිදා ගැනීමට සිදු වෙන්නේ හිටගෙන’ මෙවැනි කතා රැඳවියන් අතර සුලභ වන අතර මෙවැනි පසුබිමක බන්ධනාගාර ගත කිරීමේ මූලික මූලධර්මය පවා (විශෝධනය) සිදුවන බවක් දැකගත නොහැකිය.

මෙහි දී අපරාධ විද්‍යාත්මක දෘෂ්ටිකෝණය වෙත යළි අවධානය යොමු කළ යුතුය. සමාජය සම්මුතියට එරෙහි අපරාධයක් කළ යම්කිසි පුද්ගලයෙක් බන්ධනාගාර ගත කරනු ලබන්නේ ‘එකී වරද සම්බන්ධයෙන් ඔහු තුළ යම් පසුතැවීමක් ඇති කර යළි එවැනි වරදක් සිදුනොවන තත්ත්වයට මනස සකස් කර ගැනීමට’ අවස්ථාව ලබාදීමටය. ‘මම මේ වරදින් මිදෙන්නේ කොහොමද ?’ යන මානසිකත්වය ඔහු තුළ ඇතිකර ලීමටය.

නමුත් ‘සිරමැදිරිය අපායක්’ වන තත්ත්වයක් තුළ ඔහුගේ මනස තුළ පසුතැවීමක් හෝ යළි වරද නොකරන අධිෂ්ඨාණයක් ඇතිවන්නේ නැත. එපමණක් නොව මෙම සිරමැදිර තුළ අවම සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් පවා නොමැති බව අමතක නොකළ යුතුය. මෙම අයහපත් වාතාවරණය කිසිසේත් රැඳවියෙකු පුනරුත්ථාපනය කිරීමට සුදුසු වාතාවරණයක් නොවේ.

අපරාධකරුවන්ට නිරාවරණය වීම

යම්කිසි හේතුවක් මත රැඳවුම්භාරයට පත්කරන ලද රැඳවියෙකු වාට්ටුවෙන් එළියට දැමීම යනු අපරාධකරුවන්ට ඔහු පහසුවෙන් නිරාවරණය වීමකි. මෙය වඩාත් සුලභ කියමනක් වන ‘රිමාන්ඩ් එකට යන පුද්ගලයා එළියට එන්නේ අපරාධ ජාලයක කොටස්කාරයෙක් වෙලා’ යන සුලභ කියමන යළි යළි සනාථ කරන්නකි.

නමුත් වත්මන් සමාජය තුළ මෙවැනි ගැඹුරු කාරණා සම්බන්ධයෙන් සංවාදයක් හෝ අවධානයක් නොපවතී. සංවාදය සහ අවධානය යොමුව පවතින්නේ ‘ වැඩි වැඩියෙන් සිර ගෙවල් සහ සිර මැදිරි ගොඩනැගීම’ කෙරෙහිය. මෙය කිසිසේත් ප්‍රශ්නයට පිළිතුරක් නොවේ. ධනාත්මක හා නූතනවාදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණවලට පිළිතුරක් නොවේ.

සමාජ ආකල්ප

නීති ප්‍රජාව තුළ පවා ධනාත්මක සාකච්ඡාවක් සිදු නොවන තත්ත්වය තුළ සමාජය බන්ධනාගාරය දකින්නේ ‘අපරාධකරුවන්ගේ නවාතැන් පොළක්’ ලෙසය.

‘බන්ධනාගාරවල ඉන්නේ අපරාධකරයින්, උන්ට ගහන්න ඔ්නෑ, උන්ව මරන්න ඔ්න” යන මානසිකත්වයක් සමාජය තුළ තිබේ. උදාහරණයක් ලෙස වැලිකඩ, මහර බන්ධනාගාරවල ඝාතන සිදු වූ අවස්ථාවේ දී සමාජය සිරකරුවන්ගේ පැත්ත ගත් නමුත් පසුගිය මීගමුව බන්ධනාගාර සිදුවීමේ දී සමාජය බන්ධනාගාර නිලධාරීන්ගේ පැත්ත ගෙන සිරකරුවන් හෙළා දැක්කේය. මීගමුව ඝාතන රැල්ලේ දී සමාජය සිටියේ ජේලර්වරුන්ගේ පැත්තේය, මෙය සුවිශේෂ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. (මෙම සිදුවීමේ දී බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීම දැඩිව හෙළා දැකිය යුතු අතර එය කිසිසේත් අනුමත කළ නොහැකි අති අමානුෂික ක්‍රියාවකි).

නමුත් මෙහි දී අමතක නොකළ යුතු කරුණක් ද තිබේ. ඒ මීගමුවේ දී ඝාතනය වූ රැඳවියන් අතරින් 17 දෙනකුම  ඝාතනය කරන ලද්දේ ‘වෙඩි තැබීම’ හේතුවෙනි. අනෙක් අතට ජේලර්වරුන් ද සිරකරුන් සමඟ කටයුතු කිරීමේ දී ‘විශෝධන’ මානසිකත්වයෙන් හෝ අත්දැකීම් මත කටයුතු කළ ආකාරයක් නිරීක්ෂණ නොවීය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන විද්වතුන් බොහෝ දෙනෙක් අවධාරණය කළ කරුණක් වූයේ ‘මීගමුව බන්ධනාගාර කැරැල්ල මැඩපැවැත්වීමට අවම වශයෙන් කඳුළු ගෑස් පවා භාවිතා නොකළ බවයි. මෙවැනි අවස්ථාවල බහුලව භාවිතා කරන ගම්මිරිස් වායු ප්‍රහාරයක් එල්ල කළේ නම් තත්ත්වය පහසුවෙන් කළමනාකරණය කර ගතව හැකිව තිබූ බව ඔවුන්ගේ අදහසය.

අතීතයෙන් පාඩම් ඉගෙන නොගැනීම

බිහිසුණු බන්ධනාගාර කැරලි ලංකාවට අලුත් ඇත්දැකීමක් නොවේ. සමූල ඝාතන වශයෙන් සැලකිය හැකි සිදුවීම් තුනක් ඊට පෙර ආසන්න යුගයේ දී සිදුවී තිබේ. එහෙත් එවැනි සිදුවීම්වලින් බන්ධනාගාර පරිපාලනය හෝ දේශපාලන බලාධිකාරිය පාඩම් උගත් බවක් දැකගත නොහැකිය. එවැනි උගත් පාඩම් තිබුණේ නම් මීගමුව බන්ධනාගාරයේ දී නිලධාරීන් සහ රැඳවියන් මෙතරම් පිරිසකට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවන්නේ නැත.

මීගමුව බන්ධනාගාරයේ ඝාතන සිදුවන්නේ 1983 කළු ජූලි සැමරුමට සමගාමී කාලයක බව අමතක නොකළ යුතුය. 1983 කළු ජූලියේ දී වැලිකඩ බන්ධනාගාරය තුළ දී දෙමළ ජාතික සිරකරුවන් විශාල පිරිසක් ඝාතනය කරන ලදි. ඊට පසුව යළි වැලිකඩ දී ද, කොවිඩ් වසංගත සමයේ මහර බන්ධනාගාරයේ ද සිරකරුවන් විශාල පිරිසක් ඝාතනය විය. නමුත් මේ කිසිවකින් බන්ධනාගාර පරිපාලනය හෝ ආණ්ඩුව පාඩම් ඉගෙන ගත් බවක් දැකගත නොහැකිය. මෙය බරපතළ තත්ත්වයකි.

මෙහි ඇති කණගාටුදායක තත්ත්වය වන්නේ සමාජය ද වෙනස් නොවීමය, සමාජය සිතන්නේ ‘සිරකරුවන් යනු ඝාතනය කළ යුතු පිරිසක්’ බවය. මෙය සමාජයේ ශිෂ්ඨත්වය සම්බන්ධ ප්‍රශ්නයකි.

මීගමුව බන්ධනාගාර සිදුවීමේ දි අධිකරණ අමාත්‍යවරයා හැසිරුණු ආකාරය ද අවධානයට යොමුවිය යුතුය. ඔහු ඔහුට තරම් නොවන ආකාරයට හඬා වැළපුණ අතර සිදුවීමේ වගකීම භාර ගන්නා බව කීවේය. නමුත් එයින් සිදුවන කිසිවක් නැත. ඝාතනය වූ ජේලර්වරුන්ට හෝ රැඳවියන්ට ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් යුක්තිය ඉටු වුණේ නැත. අවම වශයෙන් ‘කිසිවක්’ සිදු නොවීය.

මෙහි දී අධිකරණ අමාත්‍යවරයා ‘හුදු ජනප්‍රිය ප්‍රවණතාවකට’ යටත් වුණ අතර ඔහුට අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසිම ආකාරයක වගකීමක් හෝ වගවීමක් ද නොවීය.

අවසානය

ලංකාවේ බොහෝ ක්ෂේත්‍රවල න්‍යාය සහ භාවිතය අතර බරපතළ නොගැළපීම් තිබේ. නමුත් මෙය තව දුරටත් සිදු නොවිය යුතු දෙයකි. න්‍යාය සහ භාවිතය එකට එක්ව ගමන් කළ යුතුය. ‘න්‍යායකින් තොර භාවිතයක් ද, භාවිතයකින් තොර න්‍යායක් ද නැත’.

ලංකාවේ බන්ධනාගාර ගතව සිටින 65%ක් වන රිමාන්ඩ් සිරකරුවන්ගේ ගැටලුවලට පිළිතුර කුමක්ද ?, ඔවුන්ගේ ගැටලුවට විසඳුම් සොයන්නේ කවුද ?, බන්ධනාගාර සහ අධිකරණ සිය ධාරිතාව ඉක්මවා ගිය අධි ධාරිතාවකින් කටයුතු කිරීම වළක්වා ගන්නේ කෙසේද ?, මහේස්ත්‍රාත්වරයෙකුට තීන්දුවක් ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්නේ කෙසේ ද ?.

මේ ගැටලුවට විසඳුම කිසිසේත්ම විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීම නොවේ. කළ යුතුව තිබෙන්නේ මහෙස්ත්‍රාත් උසාවිවල ධාරිතාව වැඩි කිරීමය. මහේස්ත්‍රාත්වරු සංඛ්‍යාව සහ මහේස්ත්‍රාත් උසාවි සංඛ්‍යාව වැඩි කිරීමය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමය.

නඩු කල් යන්නේ ඇයි ?

නඩු කල් යාම පොදු ගැටලුවකි. මහේස්ත්‍රාත් උසාවිවලින් නීතිපති උපදෙස් ලබා ගන්න නියෝග කරන විට නීතිපති උපදෙස් ලබා ගැනීමට නීතිපති වෙත යා යුතුය. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ නීතිපති දෙපාර්තමේන්තුව උග්‍ර මානව සම්පත් හිඟයකින් පීඩා විඳී. නීතිපති දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් තරම් නීතිඥයින් නොමැති අතර ඔවුන්ට ද සිය ධාරිතාවය ඉක්මවා ගිය නඩු සංඛ්‍යාවක් සමඟ කටයුතු කිරීමට සිදුවේ.

රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තත්ත්වය නඩු ප්‍රමාදයට තවත් ප්‍රධාන සාධයකි. නඩුවක් හා සම්බන්ධ රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවන බව ප්‍රකට කරුණකි. නමුත් වත්මන් දියුණු තාක්ෂණය අනුව මේවා මේ ආකාරයෙන් ප්‍රමාද වීම කනගාටුවට කරුණකි. හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය ඉතාම ක්ෂණිකව පරීක්ෂා කළ හැකි තාක්ෂණයක් ලෝකයේ තිබේ. මෙවැනි නවීන තාක්ෂණය හඳුන්වා නොදීම ගැටලුකාරී තත්ත්වයකි. එවැනි නවීන තාක්ෂණය හඳුන්වා නොදීමට හේතු ගැන විශේෂයෙන් සොයා බැලිය යුතුය.

නඩු ආදායම

අධිකරණ ක්‍රියාවලිය හරහා දඩ මුදල් ලෙස අති විශාල මුදලක් දෛනිකව මහා භාණ්ඩාගාරයට ලැබේ. නමුත් මෙම මුදල්වලින් අධිකරණ පද්ධතිය නඩත්තු කිරීමට හෝ නවීකරණයට මුදල් වැය කිරීමක් සිදු නොවේ. බොහෝ මහේස්ත්‍රාත් උසාවි වල පහසුකම් අවම මට්ටමක පවතින අතර එය අධිකරණ කටයුතුවලට දැඩි බාධාකාරී තත්ත්වයක් ද නිර්මාණය කර තිබේ. එසේම බොහෝ අධිකරණවල යතුරු ලේඛිකාවන්ගේ දැඩි හිඟයක් තිබේ. එය නඩු වාර්තා ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ. මේ ගැටලු විසඳීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගන්නා බවක් නොපෙනේ.

අධිකරණ පද්ධතිව තුළ මේ ආකාරයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට සහ නවීකරණ කටයුතු වෙනුවෙන් අරමුදල් අවශ්‍ය වුව ද එම අරමුදල් අධිකරණ පද්ධතිය විසින් උපයා දෙන බව අමතක නොකළ යුතුය. උපයා දෙන එම මුදලින් යම් ප්‍රමාණයක් අධිකරණවල නඩත්තු සහ නවීකරණ කටයුතු වෙනුවෙන් වැය කරන්නේ නම්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවට මෙම උපයා දෙන මුදලින් යම් ප්‍රමාණයක් ප්‍රති ආයෝජනය කරන්නේ නම් වර්තමානයේ අධිකරණය මුහුණ දෙන බොහෝ ගැටලු ඇති නොවන බව පැහැදිලි කරුණකි.

මෙවැනි ධනාත්මක හා ප්‍රායෝගිකවාදී පියවර ගැන කිසිම අවධානයක් තොරව බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන ගැටලු විසඳීම ගැන කතා කිරීම ඵල රහිත ක්‍රියාවක් බව පැහැදිලිය.

මේ අනුව පැහැදිලි වන්නේ බන්ධනාගාර ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව කරන්නේ ‘අඳුරේ අතපත ගැමක්’ බවයි. ආණ්ඩුව කළ යුතු වන්නේ මේ අඳුරේ අතපත ගෑමෙන් ඔබ්බට ගොස් හරයාත්මකව, ප්‍රතිපත්ති ගැන සාකච්ඡවක් ආරම්භ කිරීමය. එම සාකච්ඡාව ප්‍රධාන වශයෙන්,  65%ක් වන රිමාන්ඩ් සිරකරුවන්ගේ සංඛ්‍යාව අඩු කිරීම, අධි ධාරිතාවකින් කටයුතු කරන ආයතන පද්ධතිය වෙනස් කිරීම ගැන අවධානය යොමු වන එකක් විය යුතුය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාමේ 283 වැනි කතිකාවේ දී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා විසින් දක්වන ලද ඇසුරින් සම්පාදිතත ලිපියකි.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website