මාලබේ දන්සැලක පෝලිම් ප්‍රශ්නයක් නිසා තරුණයකුට පහරදුන් 16-17 හැවිරිදි සැකකරුවන් 05ක් අත්අඩංගුවට

පොසොන් පොහෝ දින මාලබේ නගරයේ පැවති දන්සැලක් අසලදී තරුණයකුට පිරිසක් ආරක්ෂක හිස්වැසුම් වලින් සහ අතින් පයින් පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (30) මාලබේ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් විසින් සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කෙරිණි. ඒ අනුව එදිනම (30) පහරදීමට සම්බන්ධ වයස අවුරුදු 16 සහ 17 යන වයස්වල පසුවන, පට්ටියවත්ත පාර කොතලාවල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් 05 දෙනෙකු මාලබේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාලබේ නගරයේ පැවති බත් දන්සලක් සඳහා තරුණයකු පෝලිමේ රැඳී සිටියදී, පෝලිමෙන් පිටත සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට ඉදිරියෙන් පෝලිමට එකතු වීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී අදාළ තරුණයා ඔවුන්ට පිටුපසින් පෝලිමට එක්වන ලෙස දැනුම් දීම මෙම පහරදීමට මුලික හේතුව වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website