හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ යන අයවලුන් විසින් සුරේෂ් සලේ සම්බන්ධ විමර්ශනවලට අදාළව අධිකරණයට අපහාස කිරීමට කටයුතු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය අද නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එම නිවේදනය පහත දැක්වේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ නැමති සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම මත මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මෙම විමර්ශනයට අගතිදායක ලෙස පහත පුද්ගලයින්ගෙන් සමන්විත සංවිධානාත්මක කණ්ඩායම් මේ වන විට ගරු අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජනතාව තුල අප්‍රසාදයක්, සැකයක්, අවමානයක් හා අපහාසයක් වන ආකාරයෙන් හා ගරු අධිකරණය කෙරෙහි මහජන විරෝධතාවයක් නිර්මාණය වන ආකාරයේ අරමුණු ඇතිව විද්‍යුත් මාධ්‍ය මඟින් අසත්‍ය කරුණු ඇතුළත් ප්‍රකාශ ප්‍රචාරණය කිරීමටත් සමාජ මාධ්‍ය මඟින් අසත්‍ය පල කිරීම් සිදු කිරීමටත් සලස්වා ඇති බවට නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ යන අයවලුන් විසින් ඉහත ආකාරයට මෙම විමර්ශනවලට අදාලව ගරු අධිකරණයට අපහාස කිරීමට කටයුතු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2026.06.15 වන දින කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇත.















