තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ ප්‍රායෝගික යථාර්ථය ගැන කතා කිරීමට පෙර 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ. අයිතිවාසිකම පිළිබඳ පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ප්‍රථමයෙන්ම සාකච්ඡා කිරීම වැදගත්ය. එයට හේතුව වන්නේ මෙම පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව දක්වන්නේ යයි කියන සූදානම සමාජයේ විවිධ පාර්ශ්ව තුළ තැති ගැන්මක් සේම යම්කිසි ආකාරයක කම්පනයක් ඇති කර තිබීමය.
මෙහි දී වැදගත් කරුණක් නිරීක්ෂණය කළ හැකිය. ඒ තොරතුරු ලබාදීමේ සංස්කෘතියට රාජ්‍ය ආයතන එතරම් කැමැත්තක් නොදැක්වීමය, තොරතුරු ලබා දෙන සංස්කෘතියක් රාජ්‍ය ආයතන තුළ වර්ධනය නොවීමය. රාජ්‍ය ආයතන මෙවැනි පසුගාමී තත්ත්වයක සිටිය දී ජනතාව ඉතාමත් ඉදිරිගාමී ලෙස තොරතුරු අයිතිය භාවිතා කරන ස්වභාවයක් නිරීක්ෂණය කළ හැකිය.
“තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම දැන් ජන ජීවිතයේ කොටසක් බවට පත්වෙලා තිබෙනවා. ඒ බව අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි” 275 වැනි කතිකාවට ප්‍රවේශයක් ගනිමින් මහාචාර්ය දීපිකා උඩුගම පැවසුවාය.
- පනතට සංශෝධනයක් අවශ්‍ය ද ?
තොරුතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සංශෝධනය කිරීමේ අරමුණු සහ ඉලක්ක, අවශ්‍යතාව පැහැදිලි නැති බව ද ඇය පෙන්වා දුන්නා ය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දුන්නේ නිවැරදි ආකාරයට පනතක් සංශෝධනය කරනවා නම් එය ඉදිරියට යා යුතු ක්‍රමවේදයක් පවතින බවයි. ඇය ඒ බව මෙසේ පැහැදිලි කළාය, “ඕනෑම පනතක් සංශෝධනය කරන විට යම්කිසි ක්‍රියාදාමයක් තිබෙනවා. මෙහි දී මට පුද්ගලිකව ඇති වෙන මුල්ම ප්‍රශ්නය තමයි මේ පනත සංශෝධනය කිරීම වෙනුවෙන් කවුද, කාගෙන් ද මතය විමසලා තිබෙන්නේ කියන එක. මට පේන ආකාරයට මාධ්‍ය සංවිධානවලින් මේ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අදහස් විමසලා නැහැ, සාකච්ඡාවක් තිබිලා නැහැ. මම හිතන ආකාරයට මුලින්ම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුව තිබුණේ තොරතුරු කොමිෂන් සභාව සමඟ. උදාහරණයක් ලෙස (නිවැරදි ආකාරයට) මානව හිමිකම් පනත සංශෝධනය කරනවා නම් මුල්ම සාකච්ඡාව තිබෙන්න ඕනෑ මානව හිමිකම් කොමිෂමත් එක්ක. ඔවුන්ගේ ප්‍රශ්න, අදහස්, යෝජනා පිළිබඳව මුලින්ම සොයා බැලීමක් කළ යුතුයි”.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සංශෝධනයට යාමේ දී අදාළ පාර්ශ්ව සමඟ සංවාදයක් සිදුවී නැති බවත් මෙතන තිබෙන ප්‍රධාන ප්‍රශ්නය ද එයම බවත් පැවසුවාය. මහාචාර්ය උඩුගමට අනුව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකමෙන් පෙන්නුම් කරන්නේ රාජ්‍යකරණයේ විවෘතභාවය වුවත් මේ අවස්ථාවේ එවැනි ප්‍රවේශයක් දැක ගැනීමට නොලැබීම ගැන කණස්සල්ලට පත්වූවාය.
“මේ සාකච්ඡාව අතිශයින් වැදගත්. ඒකට හේතුව තමයි බලධාරීන්ට, ප්‍රතිපත්ති සම්පාදකයින්ට වහාම මේ පණිවිඩය යා යුතුයි. මෙයට ජනතාවගේ විශාල විරෝධයක් තිබෙන බව ඔවුන් වටහා ගත යුතුයි. ඒකට හේතුව තමයි තමන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරනවාට ජනතාව කිසිසේත් කැමති වෙන්නේ නැහැ, ඒක ඕනෑම රටක ජනතාව අතර පවතින පොදු ස්වභාවයක්” මහාචාර්ය උඩුගම පෙන්වා දුන්නාය.
- විශාලතම අභියෝගය
තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට වර්තමානයේ පවතින විශාලතම අභියෝගය වන්නේ තොරතුරු කොමිෂම සතු ප්‍රායෝගික ගැටලු බව මහාචාර්ය උඩුගම පැහැදිලි කළාය. කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම, කොමසාරිස්වරුන්ගේ හිඩැස්, කොමසාරිස්වරුන්ගේ හැකියාව, ධාරිතාව සම්බන්ධ ගැටලු ඒ අතර ප්‍රධාන බව ඇය පැවසුවාය.
“ තොරතුරු කොමිෂමට කොමසාරිස්වරු පත්කරන විට පනතින් පවරා ඇති බලතල නිවැරදිව ක්‍රියාත්මක කිරීමට කොමසාරිස්වරුන්ට අවශ්‍ය හැකියාව තිබෙනවා ද කියන එකත් ප්‍රධාන ගැටලුවක්. ඔවුන් ඉතාමත් උගත් අය, දක්ෂ අය වෙන්න පුළුවන්. නමුත් පනත යටතේ බලාධිකාරියක් තිබෙනවා. ඒ බලාධිකාරිය ක්‍රියාත්මක කිරීම අතිෂයින් වැදගත්. ඒ බලාධිකාරිය ක්‍රියාත්මක කිරීමට තරම් කොමසාරිස්වරුන්ට සුදුසුකම් සහ පළපුරුද්ද තිබෙනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ වගේම තොරතුරු කොමිෂමට ප්‍රමාණවත් තරම් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමක් කරලා නැහැ. ඉතාම සුළු ප්‍රතිපාදන ප්‍රමාණයකින් තමයි කොමිෂම කටයුතු කළ යුත්තේ. මෙය කළ නොහැකි දෙයක්” මහාචාර්ය දීපිකා පෙන්වා දුන්නාය.
“ඒ වගේම මගේ නිරීක්ෂණ අනුව ස්වාධීන කොමිෂන් සභාවලට විශාල ප්‍රශ්න සහගත තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. උදාහරණයක් ලෙස කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව ගන්න පුළුවන්. කාන්තා කොමිෂමට පත් කළ මුල්ම සභාපතිවරිය පත්වීම භාරගෙන මාස තුනක් යන්න කලින් ඉල්ලා අස්වුණා. ඒකට හේතුව වුණේ කොමිෂමට ප්‍රමාණවත් තරම් මූල්‍ය ප්‍රතිපාදන ලබා නොදීම. ඔවුන්ට ගොඩනැගිල්ලක්වත් ලබා දීලා තිබුණේ නැහැ. බොහොම හෙමින් හෙමින් තමයි ගමන යන්නේ” මහාචාර්ය දීපිකා උඩුගම පැවසුවාය.
- වැඩිම බලපෑම කාටද ?
තොරතුරු කොමිෂම අකර්මන්‍ය වීමෙන් වැඩිම බලපෑමක් වන්නේ කාටදැයි සොයා බැලිය යුතු බව කී මහාචාර්ය දීපිකා තොරතුරු පනත ජනතාවගේ හදවතට වඩාත් සමීප පනතක් බව ද කීවාය.
“ඒකට හේතුව තමයි තොරතුරු පනත ජනතා ව්‍යාපාරයකින් සම්මත කරගත් දෙයක්. ජනතා අරගලයකින් දිනා ගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා තමයි තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම මූලික අයිතිවාසිකමක් ලෙස 14 වැනි වගන්තියට ඇතුළත් කරන්නේ. එහි තාර්කික දිගුවක් ලෙස තමයි 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ. අයිතිවාසිකම පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත වෙන්නේ. මේ අවස්ථාවේ විශාල ජනතා උද්යෝගයක් තිබුණා. ඉතාම පැහැදිලිව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ. අයිතිවාසිකම පිළිබඳ පනත කියන්නේ ජනතාවට හොරෙන්, ජනතාවගේ අනුදැනුමකින් හෝ ජනතාව සමඟ සංවාදයකින් තොරව සම්මත කරගත් පනතක් නොවෙයි. ඒ වගේම තවත් වැදගත් දෙයක් තිබෙනවා, මේ පනත ලෝක පූජිත පනතක්, අපි ආඩම්බර විය යුතු පනතක්. තොරතුරු පනතක් ක්‍රියාත්මක වන රටවල් අතර ශ්‍රී ලංකා තුන් වැනි හෝ හතර වැනි ස්ථානයේ සිටිනවා. මේක ඉතාම වැදගත් අංකයක්, විශාල ජයග්‍රහණයක්. අපි මේ ගැන ආඩම්බර විය යුතුයි” වත්මන් තොරතුරු පනත ගැන ආඩම්බර වීමට හැකියාක් තිබුණ වර්තමානය වන විට ප්‍රශ්නයක් තිබෙන බව ආචාර්ය උඩුගම පැවසුවාය.
- රජය තේරුම් ගත යුතු දේ
තොරතුරු පනත ජනතාවට ඉතාම සමීප පනතක් බව රජය තේරුම් ගත යුතු බව ඇය යළිත් අවධාරණය කළාය.
“මේක ජනතාව නිරන්තරයෙන්ම භාවිතා කරන පනතක්, තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට අතිෂයින් වැදගත් කියලා සලකන පනතක්. ඒ වගේම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම තවත් ශක්තිමත් කරනවා කියලා” මහාචාර්ය දීපිකා පැවසුවාය.
මෙහිදී ඇයගේ අදහස වූයේ යම්කිසි ආකාරයකින් මෙම සංශෝධනය දියාරු වුණොත් ඒ හරහා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට දක්වන සැලකිල්ල ද ප්‍රකට වන බවයි.
“මේ තත්ත්වය ආණ්ඩුව තේරුම් ගත යුතුයි. ප්‍රායෝගිකව නිලධාරීන්ට යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සෑම දෙයක්ම නිරාවරණය කිරීමට ගියොත් රට දියුණු කළ නොහැකියි වගේ අදහස් අපි දශක කිහිපයක සිට අහනවා. නමුත් මේ පනත දියාරු වුණොත් පැහැදිලිව සම්ප්‍රේෂණය වන පණිඩුවය තමයි ‘ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රීකරණයට විශාල බාධාවක් ඇති කළා’ කියන චෝදනාව. එවැනි තත්ත්වයක් තුළ ජනතා අප්‍රසාදය ඉහළ මට්ටමක තිබිය හැකියි. ඒ වගේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ යුතුකම් පිළිගෙන තිබෙනවා. ඒ තුළත් තොරතුරු පනතට සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විශාල පිළිගැනීමක්, වටිනාකමක් තිබෙනවා. මේවා රටට, ජනතාවට විශාල ජයග්‍රහණ වශයෙන් සැලකෙනවා. නමුත් තොරතුරු පනත දියාරු වුණොත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලටත් උත්තර බඳින්න අපට සිදු වෙනවා. ඒ වගේම (තෙවැනි කරුණ) ජාත්‍යන්තර වශයෙන් තිරසාර සංවර්ධන ඉලක්ක තිබෙනවා. මේ ඉලක්ක අතර 16 වැනි ඉලක්කය වන්නේ ජනතාවට සක්‍රීය ලෙස තොරතුරු ලබාදීමට අවස්ථා නිර්මාණය කිරීමයි. යම්කිසි ආකාරයකින් තොරතුරු පනත දියාරු කළොත් එතනත් ප්‍රශ්න ඇති වෙනවා” මහාචාර්ය දීපිකා තොරතුරු පනත දියාරු නොකර ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම තව දුරටත් පැහැදිලි කරමින් සඳහන් කළාය.
- IMF පොරොන්දුවක්
තොරුතුරු දැනගැනීමේ අයිතිවාසිකම ශක්තිමත් කර තහවුරු කිරීම ශ්‍රී ලංකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුවේ අන්තර්ගත වටිනාකමක් බව ද මහාචාර්යවරිය හෙළි කළාය.
මෙහි දී ඇය යළි යළි අවධාරණය කළේ තොරතුරු පනත ජනතාව දිනා ගත් ජයග්‍රහණයක් බවයි. යම්කිසි ආකාරයකින් පනත දුර්වල වුණොත් සියලු පාර්ශ්වයන්ගෙන් රජයට දැඩි අපකීර්තියක් එල්ල විය හැකි බව ද මහාචාර්ය දීපිකා පැවසුවාය.
යුරෝපා කොමිෂම සමඟ ක්‍රියාත්මක වන GSP + තීරු බදු සහන ඇතුළු බොහෝ ජාත්‍යන්තර බැඳීම් තිබෙන බවත්, ඒ සියල්ල සමඟ GSP + තීරු බදු සහන ඇතුළු බොහෝ ජාත්‍යන්තර බැඳීම් හා සම්බන්ධයි. මහාචාර්ය දීපිකා පෙන්වා දුන්නාය.
“මේ සියලු සාධක තිබියදීත් තොරතුරු පනත සංශෝධනය කිරීම වත්මන් ආණ්ඩුව දක්වන අසීමිත උනන්දුව ගැන සිතා ගන්නවත් බැහැ. මේ පනත යම්කිසි ආකාරයකට සාධනීය ලෙස සංශෝධනය කරනවා නම් එක දෙයක් කළ හැකියි. ඒ තමයි, කොමසාරිස්වරුන්ට සිය ධුර කාලය තුළ දී වෙනත් කිසිම වෘත්තීමය කටයුත්තක නිරත වීමට නොහැකි බවට වගන්තියක් තිබෙනවා. අවශ්‍ය නම් මේ වගන්තිය සංශෝධනය කළ හැකියි. ඒකට හේතුව තමයි තොරතුරු කොමිෂමේ වත්මන් කොමසාරිස්වරුන්ට ගෙවන්නේ ඉතාම සුළු වේතනයක්. එය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි බොහෝ වෘත්තිකයින් සහ විද්වතුන් තොරතුරු කොමිෂමට නම්කරනවාට වඩා අකමැති වන්නේ. ඒ වගන්තිය සංශෝධනය කිරීම මට පිළිගන්න පුළුවන්. නමුත් තොරතුරු පනත මේ තරම් ඉක්මනින් සංශෝධනය කළ යුතු ද යන්න පිළිගැනීම දුෂ්කරයි, ඒ ගැන මට නම් හිතා ගන්නවත් බැහැ” මහාචාර්ය උඩුගම පැවසුවාය.
- දැන් කළ යුතු දේ
රජය මේ අවස්ථාවේ දී කළ යුත්තේ තොරතුරු කොමිෂම මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු විසඳීමට පියවර ගැනීම බව ඇය අවධාරණය කළාය. කාර්ය මණ්ඩල හිඟය, ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම, කොමසාරිස්වරු පත් කිරීමේ ගැටලු විසඳීමට රජය වැඩි ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු බව ද මහාචාර්ය දීපිකා අවධාරණය කළාය.
“ඒ වගේම තමයි ජනතාව ශක්තිමත් කරන, නමුත් රජය අපසුතාවට පත්කරන පනත් වලට ආණ්ඩුව කැමති නැහැ, නමුත් විපක්ෂයේ ඉන්න කොට ‘හරිම කැමතියි, විපක්ෂයේ ඉන්න කොට මේ ආයතනවලට සම්පූර්ණයෙන් සහයෝගය දෙනවා. නමුත් (අවාසනාවට) රාජ්‍ය බලය නතුකර ගත්විට ස්වාධීන කොමිෂන් සභා තමන්ගේ පාලනයට විරුද්ධ ආයතන ලෙස දකිනවා. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදීව රටක් ලෙස යම්කිසි අභිමානයක් අපට තිබෙනවා නම්, ඒ අභිමානය රැක ගන්න නම් මේ ආයතන රැකගත යුතුයි. මේවා දියාරු වුණොත්, ඍණාත්මක සංශෝධනයක් ගෙනාවොත් ජනතාවගේ අයිතිවාසිකම් පළුදු වෙනවා පමණක් නොවයි, ඒ අභිමානයත් පළුදු වෙනවා. එය අවසානයේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් බවටත් පත්වෙනවා”.
මෙහිදී මහාචාර්ය දීපිකා පෙන්වා දුන්නේ ඕනෑම ආයතනයක් ප්‍රශස්ත මට්ටමින් කටයුතු කරන්නේ නම් ඒ පාලන තන්ත්‍රය මේ ආයතන ගැන ආඩම්බර විය හැකි බවයි, තොරතුරු ලබා දෙන්න කැමැති විය හැකි බවයි.
“අපේ දුර්වලතා තියෙන්න පුළුවන්, නමුත් අපි හොඳින් කටයුතු කළ යුතුයි. එවැනි සංස්කෘතියකට තමයි අපි යා යුත්තේ. එසේ නොමැතිව ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රසාරණය වන විට, රාජ්‍ය තන්ත්‍රය සිතනවා නම් ඒක තමන්ගේ බලයට බාධාවක් කියලා ඒක තුරන් කළ යුතු ආකල්පයක්” ඇය දැඩිව අවධාරණය කළාය.
තොරතුරු පනත සංශෝධනය කිරීමට යම්කිසි අවශ්‍යතාවක් තිබෙන්නේ නම් එය සාකච්ඡාවට, සංවාදයට ලක් කළ යුතු බව අවධාරණය කළ මහාචාර්ය දිපිකා ‘එකවර එවැනි සංශෝධනයක් ඉදිරිපත් නොකළ යුතු බව’ යළි අවධාරණය කළාය.
“කවුරු කිව්වත්, මොනවා කිව්වත් අපි කරනවා කියන ස්ථාවරයේ ඉන්නේ නැතිව, ඉතාමත්ම වගකීමක් සහිතව, ජාතික අභිමානය ආරක්ෂා වන පරිදි, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කරන දෙයක් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි දැවැන්ත අභියෝගවලට මුහුණ දුන් ජනතාවක් මේ රටේ ඉන්නේ. අපි හිතුවා අරගලයෙන් පස්සේ ‘සිස්ටම් චේන්ජ්’ කියන සංකල්පයට සියලු දෙනාම කැප වෙලා කටයුතු කරයි කියලා. ජනතාවගේ ඒ අදහසට අවස්ථාව ලබාදිය යුතුයි. ධනාත්මක ලෙස ඒ අවස්ථාව ලබා දිය යුතුයි. පුරවැසියෙක් ලෙස මගේ ඉල්ලීම ඒකයි” මහාචාර්ය දීපිකා උඩුගම පැවසුවාය.
(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සමාජ සංවාද මාලාවේ 275 වැනි වැඩසටහනේ දී දක්වන ලද අදහස් ඇසුරිනි.)
සටහන – තුෂාල් විතානගේ
















