නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය වන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සැකසීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍යවරියගේ අධීක්ෂණයට ලක්වෙයි.
උසස් අධ්‍යාපනය සඳහා නව පරම්පරාවේ ප්රවණතා සහ කර්මාන්ත ක්ෂේත්රය තුළ ඇති වී ඇති අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අලුත්වන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සැකසිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.
සංශෝධනය කිරීමට නියමිත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ ව්‍යූහය සහ සහතිකකරණ ක්‍රියාවලිය සඳහා අදහස් හා නිර්දේශ ලබා දීමේ අරමුණින් ඊයේ (03) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියාය.
මෙහිදී එම විෂය ධාරාව සංශෝධනය කිරීමේදී භාවිත කළ යුතු මූලික නිර්ණායක සහ ඒ හරහා උසස් අධ්‍යාපන ප්‍රවේශයට ඇති නව මාර්ග තීරණය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එමෙන්ම ක්‍රමවත්ව සැකසූ තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියක් ඔස්සේ එම විෂය ධාරාව හදාරන සිසුන්ට පිළිගත් වෘත්තීය ජීවිතයක් සඳහා අවශ්‍ය පදනම සැකසිය යුතු බව පැමිණ සිටි පිරිසගේ අවධානයට ලක්විය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ එම විෂය ධාරාවට වටිනාකමක් ඇතිවන පරිදි නිසි ක්‍රමවේදයකට සැකසූ තේරීම් ක්‍රියාවලියකට අනුව සිසුන් ඇතුළත් කර ගත යුතු බවයි. එමෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කරමින් පාර්ශ්වික ඇතුළත් වීම් (Lateral Entry) ක්‍රියාවලියක්ද ඒ සඳහා ඇතුළත් කළ යුතු බවද ඇය ප්‍රකාශ කළාය.
එමෙන්ම සමාජීය සහ ආර්ථිකමය වශයෙන් වෘත්තීය අධ්‍යාපනයේ ඇති වටිනාකම සහ ඒ ඔස්සේ ඉලක්කගත වන රැකියා ක්ෂේත්‍ර පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාව සම්බන්ධවද ඇය මෙහිදී අවධාරණය කළාය.
















