2026.05.25 දින රංගල පොලිස් වසමේ උඩිස්පත්තුව ප්‍රදේශයේදී අඹු සැමියන් ලෙස ජීවත් වූ යුවළක බිරිඳ අතුරුදන්ව ඇති බවට රංගල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය කරගෙන ඇත.
මරණකාරිය අවුරුදු 22 ක් වූ උඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සිදුකරන ලද විමර්ශනයේදී, මෙම මනුෂ්‍ය ඝාතනය, මරණකාරියගේ සැමියා විසින් සිදුකර ඒ බව සඟවමින් සැකකාර සැමියා, තම මව සමඟ පොලිස් ස්ථානයට ගොස් මරණකාරිය නිවසින් අතුරදහන් වී ඇති බව සඳහන් කරමින් පැමිණිල්ලක් සිදුකර ඇති බවටත් අනාවරණය වී ඇත. සිද්ධියෙන් පසු සැකකාර සැමියා ප්‍රදේශය හැර පලා ගොස් ඇත.
2026.06.03 දින උදෑසන රංගල පොලිස් වසමේ උඩිස්පත්තුව ප්‍රදේශයේදී රංගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු විසින් විෂ ද්‍රව්‍යයක් පානය කර ඇති බවට අනාවරණය වීමෙන් පසු සැකකරු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.
සැකකරු අවුරුදු 28 ක් වන උඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැඩිදුර විමර්ශයේදී මෙම යුවළ පදිංචිව සිටි නිවස පිටුපස වගුරුබිමක මෘත දේහය වළ දමා තිබියදී, ගොඩ ගැනීමෙන් පසු 2026.06.03 දින පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෘත දේහයේ කොටස් රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇත. රංගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














