කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. 2026 ඔක්තෝබර් මස 24 වන දින රාත්රී 11.30 වන විට, එම පද්ධතිය උතුරු අක්ෂාංශ 15.5° සහ නැගෙනහිර දේශාංශ 91.0° ආසන්නයේ කේන්ද්රගතව පැවතුණි.
මෙම පද්ධතිය ඔක්තෝබර් මස 25 වන දින බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොනදිග ප්රදේශය හරහා ගමන් කරමින්, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී. මෙම පද්ධතිය තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, ඔක්තෝබර් මස 26 වන දින උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් මස 27 වන උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර-මධ්යම මුහුදු ප්රදේශය ආශ්රිතව ප්රබල සුළි කුණාටුවක් බවටත් තවදුරටත් තීව්ර වීමට ඉහළ සම්භාවිතාවක් පවතී.
එමනිසා උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්රජාවන් ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.මේ සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ: සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. ත්රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය: ත්රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැක. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.












