පොලිස්පතිවරයාගේ නම භාවිතා කරමින් සිදුකරන අපරාධය ජාලයක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්

පොලිස්පතිවරයාගේ නම භාවිතා කරමින් අන්තර්ජාලය හරහා තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩ(Email) යොමුකිරීම මගින් සිදුකරන අපරාධ ජාලයක් සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බලකා සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විමර්ශන ඒකකය වෙත අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (27) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

පොලිස්පතිතුමාගේ නම භාවිතා කරමින් අන්තර්ජාලය හරහා තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩ(Email) යොමුකිරීම මගින් සිදුකරන අපරාධ ජාලයක් සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බලකා සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විමර්ශන ඒකකය වෙත අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහ පොලිස්පතිවරයාගේ නම සහ ව්‍යාජ අත්සනක් භාවිතා කරමින් යවන ලද මෙම කප්පම් ගැනීමේ විද්‍යුත් තැපැල් ජාලය මගින් ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසයට දැඩි හානියක් සිදුවිය හැකි බව නිරීක්ෂණය වන අතර මෙවැනි සැකකටයුතු, තර්ජනාත්මක හෝ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් එවන ලද විද්‍යුත් තැපෑලක් (Email) සම්බන්ධයෙන්,

* අනවශ්‍ය කලබලයට පත් නොවන ලෙසටත්,

* එම පණිවිඩවලට පිළිතුරු සැපයීමෙන් හෝ ඔවුන් ඉල්ලා සිටින මුදල් ගෙවීමෙන් වැළකී සිටින ලෙසටත්,

* එම ඊමේල් පණිවිඩවල ඇති සබැඳි (Links) වලට පිවිසීමෙන් වළකින ලෙසටත්,

* මෙවැනි අපරාධයක් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට, ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හෝ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත වහාම දැනුම් දීමට කටයුතු කරන ලෙසට දැනුම්දෙන්නෙමු.

මෙම වංචනිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා අංශ ගණනාවක් මගින් විමර්ශන ක්‍රියාත්මක අතර මහජනතාව වන ඔබ විද්‍යුත් පණිවිඩ (E-mail) පරිශීලනය කිරීමේදී දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් කටයුතු කරන ලෙස දැනුවත් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website