පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති තේරීම් කාරක සභාවට කරුණු ඉදිරිපත් කරයි

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ කොමිෂන්  සභාවේ සාමාජිකයන්ගෙන් කරුණු විමසීය.

ඒ එම විශේෂ කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

 මෙහිදී පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පවතින නීතිමය බාධාවන් සහ එම බාධාවන් ඉවත් කරගනිමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කාරක සභාවට කරුණු ඉදිරිපත් කරන ලදී.

කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම  අවස්ථාවක පළාත් සභා ජන්ද විමසීම පැවැත්වීමට තමන් සුදානම් බව මැතිවරණ කොමිෂන්  සභාව විසින් දන්වා සිටින ලදී.

මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුලාෆර් යන මහත්වරුන් සහ සාමාජික මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මීන් ද, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා මාර්ග ගතවද  සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website