ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් පිරිසක් ඉන්දීය පාර්ලිමේන්තුවේ කථානායක ඕම් බිර්ලා හමුවිය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන ශිෂ්ටාචාරමය, සංස්කෘතික සහ ප්රජාතන්ත්රවාදී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේ පාර්ලිමේන්තු ඉදිරිපත් විය යුතු ආකාරය මෙහිදී සාකච්ඡා කෙරිණි.
තව ද, නායකත්වයේ සහ දේශපාලනයෙහි කාන්තා සහභාගීත්වය වැඩි කිරීම, නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීම සහ ප්රජාතන්ත්රවාදී තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි කාන්තා සහභාගීත්වය වැඩි කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කණ්ඩායම නියෝජනය කරන ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ පක්ෂවල කාන්තා මන්ත්‍රීවරියන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර ඇතුළු නිලධාරීන් සහ ඉන්දීය පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහභාගී වූහ.












