මාළිමාවට ඡන්දය දුන්න ජනතාව, ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායකට ඡන්දය දුන්න 42%ක් පමණ වන ජනතාව ජනතා විමුක්ති පෙරමුණ හෝ මාළිමාව ගැන නිවැරදි අවබෝධයකින් කටයුතු කළේ නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ සහ මාළිමාව ගැන නිවැරදි අවබෝධයක් තිබුණ අති බහුතර ජනතාව අනුර කුමාරට හෝ මාළිමාවට ඡන්දය දුන්නේ නැහැ.
- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය 12 වැනිදා අල්ලස් කොමිෂමට කැඳවා තිබුණා. මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අල්ලස් කොමිෂමට කැඳවා තිබුණා. හිටපු ජනාධිපතිවරු සහ ප්‍රබල ඇමැතිවරු පෝලිමට අල්ලස් කොමිෂමට කැඳවනවා. ඒ කියන්නේ ආණ්ඩුව ජනමතයට අනුව වැඩ කරනවා කියන එක ද ? සර්වජන බලය පක්ෂයේ නායකයා ලෙස ඔබ මේ තත්ත්වය දකින්නේ කෙසේ ද ?
ලංකාවේ දේශපාලනයේ වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ අසාර්ථක ආණ්ඩුවක් තමන්ගේ අසාර්ථකත්වය වෙන අතකට යොමු කරන්න, ජනතා අවධානය වෙනතකට යොමු කරන්න ලංකාවේ තිබෙන සියලු ව්‍යවස්ථාපිත ආයතන බාල විදිහට භාවිතා කරන තත්ත්වයක්. පසුගිය ආණ්ඩු කාලේ සිදු කළ බව කියන සහ සිදු වුණ බව කියන අල්ලස් සහ දූෂණ සිදුවීම් ගැන අවංකව විමර්ශනය කිරීමට මේ ආණ්ඩුවට අවශ්‍ය නම් කටයුතු කළ යුත්තේ මේ ආකාරයෙන් නෙමෙයි. ආණ්ඩුව මේ ඉන්නේ ප්‍රචාරකවාදී වැඩපිළිවෙළක. ආණ්ඩුවේ අරමුණ ප්‍රචාරක වාසියක් ලබා ගැනීම මිස අවසානයේ දූෂිතයින් සොයා ගැනීම නොවන බවයි ආණ්ඩුව අද කටයුතු කරන ආකාරයෙන් පැහැදිලි වෙන්නේ.
- ඔබ මේ ආකාරයට චෝදනා කළත් මාළිමාවට ඡන්දය දුන් ජනතාව අතර මේ සිදුවීම් ගැන සතුටක්, උත්කර්ෂයක් තිබෙනවා නේද ?
ඒක තමයි මාත් කියන්නේ. තමන්ට ඡන්දය දුන්න ජනතාව සතුටු කරන්න තමයි ආණ්ඩුව මේ වැඩ කරන්නේ. නමුත් ඇත්ත දූෂිතයින් සොයා ගැනීම හෝ දූෂිතයින් විසින් සොරා ගත් දේපොළ නැවත පවරා ගැනීමටයි මේ ආණ්ඩුව පොරොන්දු වුණේ. නමුත් ඒ පොරොන්දුව ඉටු කිරීමට නෙමෙයි ආණ්ඩුව කටයුතු කරන්නේ.
- ඔබට මේ ප්‍රකාශය තව දුරටත් පැහැදිලි කළ හැකි ද ?
පසුගිය ආණ්ඩුවල අල්ලස් සහ දූෂණ සිදු වුණ බව විවාදයට කරුණක් නෙමෙයි. මේ ආණ්ඩුව කරනවා වගේම පසුගිය ආණ්ඩුවලත් අල්ලස් සහ දූෂණ සිදු වුණා. නමුත් ජනතා වරම තිබෙන්නේ වෙන තැනක. වර්තමාන ආණ්ඩුවට හොරකම් කරන්න ජනතා වරමක් නැහැ. ඒ වගේම පසුගිය ආණ්ඩුවල අල්ලස් සහ දූෂණ උත්කර්ෂයට නංවන්න නෙමෙයි ජනතා වරම තියෙන්නේ. ජනතාව මේ ආණ්ඩුව බලය දුන්නේ දූෂිතයින්ට දඬුවම් කිරීමට සහ සොරා ගත් ධනය යළි රටට ලබා ගැනීමටයි. නමුත් අද මේ දෙකම ඉටු වෙන්නේ නැහැ. තවත් වැදගත් කරුණක් අවධානයට යොමු විය යුතුයි. අද විභාග වන නඩු සියල්ලම යහපාලන ආණ්ඩුවේ, රනිල් – අනුර ආණ්ඩුවේ, අනීතිකව පිහිට වනු ලැබූ මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ආරම්භ කළ විමර්ශන. මේ ආණ්ඩුව අලුතින් කිසිම විමර්ශනයක් ආරම්භ කරලා නැහැ. මේ සියල්ලම යහපාලන කාලේ ආරම්භ කළ විමර්ශන. මේ ආණ්ඩුව රනිල්ගේ කොටේ අඳිනවා කියලා කියන්නේ ඒකනේ.
- පසුගිය මැයි දිනයේ දී ජනාධිපතිවරයා ප්රමුඛ මුුළු ආණ්ඩුවම ඉදිරි නඩු තීන්දු ගැන ප්‍රකාශ කළා. මේ ප්‍රකාශ අධිකරණයට අපහාස කිරීමක් බවට විපක්ෂය දැඩිව චෝදනා කළත් ඉන් එහාට ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයි ?
පසුගිය මැයි දිනය දා මහරගම පැවැති රැළියේ දී ජනාධිපතිවරයා කළ ප්‍රකාශවල යම් වරදක් තිබෙන බව ඇත්ත. සර්වජන බලය ලෙස අපි මේ අවස්ථාවේ විශ්වාස කරන දෙයක් තමයි මේ ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණයට යනවා නම් අධිකරණයට යන්න වෙන්නේ ජනාධිපතිවරයාට විරුද්ධව. අධිකරණයට අපහාස වන ආකාරයෙන් සහ අධිකරණයේ කීර්තිනාමයට හානි වන ආකාරයෙන් ලොකුම ප්‍රකාශ කළේ වත්මන් ජනාධිපතිවරයා. ඒ නිසා අධිකරණයට යාමට සිදුවෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකට එරෙහිව. නමුත් විධායක ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙක් කරමින් අධිකරණයට යාමට හැකියාවක් මේ අවස්ථාවේ නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ කවුරුත් අධිකරණය හමුවට යන්නේ නැහැ.
- පාර්ලිමේන්තුවේ දී ඔබ නිරන්තරයෙන් ආණ්ඩුවත් සමඟ ගැටෙනවා වගේම ආණ්ඩුවත් ඔබට ප්‍රබල ලෙස පහර දෙනවා. ආණ්ඩු උද්දච්ඡයි කියලා විපක්ෂය නිතර චෝදනා කරනවා. අවුරුදු 60ක් විපක්ෂයේ දේශපාලනය කළ පක්ෂයක්, අවුරුදු 30ක් අවම පාර්ලිමේන්තු නියෝජනයක් තිබුණ පක්ෂයක් මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව තුළ හැසිරෙන්නේ ඇයි ?
ඒකට හේතු කිහිපයක් තිබෙනවා. ප්‍රධාන කාරණය තමයි මේ ආණ්ඩුවට තමන්ගේ කියලා වැඩපිළිවෙළක් නැහැ, තමන්ට කියලා දර්ශනයක් නැහැ. ඒ වගේම ඔවුන් දේශපාලනය කළේ වාමාංශික, සමාජවාදී තිරයට මුවා වෙලා. ඔවුන් බලයට ආවේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව කියමින්. නමුත් ආණ්ඩු බලය ලබා ගත් පසු ඒ ප්‍රතිපත්ති සියල්ලම කණපිට පෙරළුණා. වාමාංශික මතවාද ඉවත දාලා නව ලිබරල්වාදී ප්‍රතිපත්ති කරට ගත්තා. මේ තත්ත්වය තුළ ජවිපෙට තමන්ගේම කියලා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ. මේ ව්‍යාකූලත්වය සහ බිඳ වැටීම තමයි ඔවුන්ගේ උද්දච්ඡභාවය ලෙස එළියට එන්නේ. මොකද ඔවුන් දන්නවා ඔවුන් කරන්නේ ඔවුන්ගේ වැඩක් නොවෙයි කියලා. ඔවුන්ට හෘද සාක්ෂියට එකඟව මේ වැඩේ සාධාරණීකරණය කරන්න බැහැ කියලත් ඔවුන් දන්නවා. ඒ නිසා ආණ්ඩුව අති උද්දච්ඡ ලෙස හැසිරෙනවා. මොකද ඔවුන්ට සත්‍යයට මුහුණ දෙන්න බැහැ. මේක තමයි යථාර්ථය.
- ආණ්ඩුව ඉතාම පහසුවෙන් සහ සීරුමාරු ලෙස නිලධාරීන් පාවා දෙනවා කියලා විපක්ෂය බරපතළ විවේචනයක් කරනවා. විපක්ෂයේ සාමාජික පක්ෂයක් ලෙස ඔබ මේ චෝදනාව සමඟ එකඟ ද ?
මේක බරපතළ ප්‍රශ්නයක්. මේ නිසා ආණ්ඩුව වේගයෙන් දුර්වල වෙමින්, අකාර්යක්ෂම වෙමින් තිබෙනවා. අද නිලධාරීන් දන්නවා ආණ්ඩුව වගකීම් නිලධාරීන් පිට පටවා අත සෝදා ගන්න දෙවරක් සිතන්නේ නැහැ කියලා. හය වසර ඉංග්‍රීසි පෙළ පොත් සිද්ධිය, කන්ටේනර් 323ක් වරායෙන් පැන්නීමේ සිද්ධිය, අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙක් නිදහස් කිරීමේ සිද්ධිය, බාල ගල් අඟුරු සිද්ධිය සහ ආසන්න කාලයේ සිදු වුණ මහා භාණ්ඩාගාරයේ සිද්ධිය තුළ නිලධාරීන් පිට වරද පටවපු ආකාරය ඉතාම පැහැදිලිව දැක ගන්න පුළුවන් වුණා. ඒ නිසා අද අත්සනක් ගහන්න කැමැති නිලධාරියෙක් නැති තත්ත්වයකට රාජ්‍ය සේවය පත්වෙලා තිබෙනවා.
- ඔබ මේ ආකාරයට ප්‍රකාශ කළත් මේ ආණ්ඩුව බලය ගේන්න රාජ්‍ය නිලධාරීන් වැඩ කළා. තැපැල් ඡන්දවලින් 80%කට වඩා මාළිමාවට ලැබුණා. ඇයි අද මෙහෙම වෙලා තියෙන්නේ ?. තමන් විසින්ම බලයට ගෙන ආණ්ඩුවකට රාජ්‍ය සේවකයින් මේ ආකාරයෙන් සලකන්නේ ඇයි ?
ඒකට හේතුව පැහැදිලියි. මාළිමාවට ඡන්දය දුන්න ජනතාව, ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායකට ඡන්දය දුන්න 42%ක් පමණ වන ජනතාව ජනතා විමුක්ති පෙරමුණ හෝ මාළිමාව ගැන නිවැරදි අවබෝධයකින් කටයුතු කළේ නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ සහ මාළිමාව ගැන නිවැරදි අවබෝධයක් තිබුණ අති බහුතර ජනතාව අනුර කුමාරට හෝ මාළිමාවට ඡන්දය දුන්නේ නැහැ. මගේ අදහස අනුව අනුර කුමාරට, මාළිමාවට ඡන්දය දුන් බොහෝ දෙනෙක් ‘වරදවා සද්භාවයෙන් විශ්වාස කළා’ කියලා තමයි කියන්න තියෙන්නේ. ඔවුන් හිතුවා ජවිපෙ, මාළිමාවේ ඉන්නේ අවංක මිනිස්සු, දක්ෂ මිනිස්සු කියලා. ඔවුන් හිතුවා රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කරයි, නිදහසේ වැඩ කරන්න අවස්ථාව ලබා දෙයි කියලා, දක්ෂයින්ට අවස්ථාව ලබා දෙයි කියලා. එහෙම විශ්වාස කළ ජනතාවක් තමයි හිටියේ. ඒ මිනිස්සු පව්.
- මේ ආණ්ඩුව නිර්ප්‍රභූ ආණ්ඩුවක් කියලා ලාල් කාන්ත ප්රමුඛ ඇමැතිවරු පුනපුනා කියනවා. පසුගිය මැයි දින තේමා පාඨය අනුවත් ඒක පැහැදිලි වෙනවා. ආණ්ඩුව කියන්නේ ජනතාව විසින් පත් කළ පළමු ජනතාවාදී ආණ්ඩුව, ප්‍රභූ නොවන ආණ්ඩුව මේක කියලා. ආණ්ඩුවේ මේ තර්කය ඔබත් පිළිගන්නවා ද ?
ලාල් කාන්තලා මේ කතා කරන්නේ තමන්ගේ හදවතට විරුද්ධවයි, හෘද සාක්ෂියට විරුද්ධවයි. එතුමා හොඳාකාරවම දන්නවා මාළිමාව ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කළේ, සහයෝගය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපාය මාර්ගය කියලා. රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ පිළ මේ ආණ්ඩුවෙන් යම්කිසි කාර්යභාරයක් ඉටුකරවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන් විශ්වාස කරනවා අනුර කුමාරගේ ආණ්ඩුව ඒ අපේක්ෂාවන් ඉෂ්ඨ කරයි කියලා.
මේ පසුබිම තුළ ලාල් කාන්ත ඇතුළු කල්ලිය තේරුම් ගත යුතුයි, වඩාත්ම ප්‍රභූ ආණ්ඩුව මේක කියලා. අද මේ ආණ්ඩුවේ බලය අල්ලා ගෙන ඉන්නේ කිසිදා නොසිටි ප්‍රභූන් පිරිසක්. ඒ වගේම ප්‍රභූන්ගේ සුවච කීකරු අන්තේවාසික ආණ්ඩුවක් තමයි මේ මාළිමාව ආණ්ඩුව. ඒ වගේම ලංකාවේ කිසිමදාක ප්‍රභූන්ට මේ තරම් බය ආණ්ඩුවක් බලයට පත් වුණේ නැහැ. ප්‍රභූන්ට යටත් වුණ, බැල මෙහෙවරකම් කරන, ප්‍රභූන් වෙනුවෙන් කටයුතු කරන, සමාජවාදය, නිර්ධන පංතිය අමු අමුවේ කෙළෙසන දේශපාලනයක් තමයි අද ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ. මේ චෝදනාවෙන් බේරෙන්න, තමන්ගේ බිම් මට්ටමේ ඡන්ද පදනම රැක ගන්න නාට්‍ය සංදර්ශනයක් කරනවා. මේ ආණ්ඩුව ප්‍රභූ අරමුණ තමයි මේ ඉෂ්ඨ කරන්නේ. මේක පොදුජන අරමුණු ඉටුකරන ආණ්ඩුවක් කියලා කාටද කියන්න පුළුවන්.
- ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 60ක් පුරාම කළේ උද්ඝෝෂණ, විරෝධතා. ඔවුන් ගොවීන්, කම්කරුවන් සහ සිසුන් සමඟයි දේශපාලනය කළේ. නමුත් අද ආණ්ඩුවේ ප්‍රබලයින් කියන්නේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නේ, උද්ඝෝෂණය කරන්නේ විපක්ෂයේ උසි ගැන්වීම්වලට ගොදුරු වුණ පිරිස් කියලා. ගොවීන් සම්බන්ධයෙන් මේ චෝදනාව වඩාත් වලංගුයි. ඔබ මේ ගැන මොකද කියන්නේ ?
ආණ්ඩුවට වැඩවර්ජන, විරෝධතා සහ විරුද්ධ අදහස් දරා ගන්න බැහැ. ඒකට හේතුව තමයි අද ආණ්ඩුව ඉන්නේ දැඩි මානසික ව්‍යාකූලත්වයක. මේ ආණ්ඩුව දැන දැන ලොකු ලණුවක් කාලා ඉන්නේ. ප්‍රභූ දේශපාලනයක, නියෝ ලිබරල් ව්‍යාපෘතියක ගොදුරක් වෙලා මේ ආණ්ඩුව ඉන්නේ. ආණ්ඩුවට ඒකෙන් ගොඩ එන්න ක්‍රමයක් නැහැ. නමුත් ඒකටම අනුගත වෙනවා හැර වෙනත් විකල්පයකුත් අද ආණ්ඩුවට නැහැ. ඒ නිසා තමයි ඉතාම කෙටි කාලයක් තුළ මේ ආණ්ඩුවට විරුද්ධව බරපතළ දූෂණ චෝදනා එල්ල වෙන්නේ. අද ඔවුන් කඩිනමින් හා විශ්වාස කළ නොහැකි තරම් අපූරුවට තමන්ගේ ජීවිත සුඛෝපභෝගී කරගනිමින් ඉන්නවා. විපක්ෂයේ සිටි කාලයේ නොතිබුණ ධනයක්, වත්කම් සහ දේපොළ එළියට ගේනවා.
- මේ ආණ්ඩුවේ මහා භාණ්ඩාගාරය පිරිලා, ඉහළම බදු ආදායමක් ලබා ගනිමින් සිටිනවා, විදේශ ප්‍රේෂණ, අපනයන ආදායම් අඛණ්ඩව ඉහළ යනවා, රාජ්‍ය ආයතන අඛණ්ඩ ලාභ ලබමින් ඉන්නවා. ඒත් විපක්ෂය නිමක් නැති චෝදනා කරනවා. ඇත්ත කියන්නේ කවුද කියලා ජනතාවට ප්‍රශ්නයක්. ඔබටත් මේ ගැන යම් අදහසක් තිබෙනවා ද ?
ආණ්ඩුවේ පිරිලා ඉතිරිලා ගිය මහා භාණ්ඩාගාරය දැන් හිස් වෙමින් තිබෙනවා. බාල ගල් අඟුරු වංචාවට, ජාතික සංවර්ධන බැංකුවේ වංචාවට, ලෝකයේ ඉහළ මිලට ඩීසල් මිලදී ගැනීමට සහ පසුගිය කාලය පුරා අඛණ්ඩව සිදු වුණ වංචා දූෂණ නියා මහා භාණ්ඩාගාරයෙන් දැවැන්ත ධනයක් පිටතට ගලා ගෙන ගිහින් තිබෙනවා. අද ආණ්ඩුවේ කාසි මල්ල හිල් වෙලා.
- ආණ්ඩුවේ ප්‍රමුඛතම ව්‍යාපෘති අතර ඩිජිටල්කරණය ඉදිරියෙන්ම තිබෙනවා. රාජ්‍ය අංශය තුළ සිදුවන මූල්‍ය වංචා සහ අක්‍රමිකතා ඍජුව ඩිජිටල්කරණයට සම්බන්ධයි. ඒ වගේම අද වන විට ලංකාව ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන්ගේ තිප්පොළක් බවට පත්ව තිබෙනවා. මේ හරහා ඩිජිටල්කරණය සාර්ථක වෙයි ද ?
මහා භාණ්ඩාගාරය ඇතුළු පසුගිය කාලය තුළ රාජ්‍ය අංශයේ සිදු වුණ මූල්‍ය වංචාවලට ඩිජිටල්කරණයේ කිසිම සම්බන්ධයක් නැහැ. මේවා ඉතාම පැහැදිලිව වංචා, හොරකම්. මේවා කිසිසේත්ම සයිබර් අපරාධ නෙමෙයි, හැකර්ලාගේ වැඩ නෙමෙයි. නමුත් ආණ්ඩුව මේ වංචා වෙනත් පාර්ශ්ව පිට පටවන්න සැලසුම් සහගතව නිර්මාණ කළ කතාවක් තමයි සයිබර් වංචා කියලා කියන්නේ.
- රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබෙනවා වගේම විදේශ සංචිත වල පහළ යාමක් වාර්තා වෙනවා. අපේක්ෂා කළ ආර්ථික වර්ධනය ළඟාකර ගැනීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා. නමුත් අපි තව මාස කිහිපයකින් විදේශ ණය ආපසු ගෙවීමට පියවර ගත යුතුයි. ඔබ මේ තත්ත්වයේ දකින්නේ කෙසේ ද , රටේ ආර්ථිකයට මේ මොකද වෙන්නේ ?
මේක හරියට අනුන්ගේ පොතකට තමන් කවරයක් දා ගත්තා වාගේ වැඩක්. පොත ඇතුළේ තිබෙන දේ දන්නේ නැහැ. අද මාළිමාව ආණ්ඩුවට වෙලා තියෙන්නෙත් ඒකම තමයි. අද ආණ්ඩුව තමන්ට වෙන දේ දන්නේ නැහැ, යන්නේ කොහෙද, කරන්නේ මොකක් ද කියලා දන්නේ නැහැ. ආර්ථික සංවර්ධනය හෝ ස්ථාවරත්වය වෙනුවෙන් අනුර කුමාරට කිසිම සැලසුමක් හෝ වැඩපිළිවෙළක් නැහැ. මේ අර්බුදයට මුහුණ දෙන්නේ කොහොම ද කියලා කල්පනාවක් නැහැ. මේක යන පාරක් තොටක් දන්නේ නැතිව ඉබාගාතේ යන ගමනක්. මේ ගමනේ අවසානය දැන් සක්සුඳක් සේ පැහැදිලියි.
- විදුලි බිල නැවත නැවත ඉහළ යමින් තිබෙනවා, ගෑස් සහ ඉන්ධන මිලත් ඉහළ ගියා, ජල බිල ගැන තවත් සති කිහිපයකින් තීන්දුවක් ගන්න බව ආණ්ඩුව කියනවා. වැට් බද්ධ සංශෝධනය කළා. මේ තත්ත්වය කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයින්ට බලපාන්නේ කොහොම ද ?, මේ හරහා ආණ්ඩුව අපේක්ෂා කරන ව්‍යවසායකත්ව ඉලක්ක ඉටු කර ගන්න පුළුවන් වෙයි ද ?
තව දුරටත් පෙට්ටි කඩයක්වත් කරගෙන යන්න නොහැකි අසීරු තත්ත්වයකට ව්‍යාපාරිකයින් පත්ව සිටිනවා. කර්මානතකරුවන්, ව්‍යවාසයකයින් ඇතුළු සියලු දෙනාම මේ තත්ත්වය හමුවේ දැඩි අර්බුදයකට සහ පීඩනයකට මුහුණ දෙමින් සිටිනවා, ඔවුන් අන්ත අසරණ වෙලා ඉන්නේ.
- නමුත් ආණ්ඩුව රුපියල් බිලියන ගණනින් ව්‍යවසායකයින් ඇප රහිත ණය නිකුත් කරලා තිබෙනවා කියලා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා. ඔහුට අනුව ව්‍යවසායකයින් සාර්ථකව කටයුතු කරනවා. ඔබ මේ ආකාරයේ චෝදනාවක් කරන පදනම කුමක් ද ?
චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා හීන දකිනවා ඇති. නමුත් භූමියේ යථාර්ථය ඔහුගේ කතාවලට වඩා සම්පූර්ණයෙන් වෙනස්. අවශ්‍ය නම් ඔහුට පුළුවන් ව්‍යවසායකයෙකුට දුරකථන ඇමතුමක් දීලා ඇත්ත තත්ත්වය දැන ගන්න. අද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැවැන්ත අර්බුදයක ඉන්නේ. ඔවුන්ට සහනයක් පේන තෙක්මානයක නැහැ. මේක ඇත්තටම ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායක අංශය ව්‍යසනකාරී යුගයක්.
- විපක්ෂය ආණ්ඩුවේ කිසිම සාධනීය ලක්ෂණයක් නොදැක්කට විදේශ සම්බන්ධතා අංශයේ පැහැදිලි වර්ධනයක් තිබෙනවා නේද ?, රාජ්‍ය නායකයින් විශාල පිරිසක් පසුගිය කාලයේ ලංකාවේ සංචාරය කළා. මේක ධනාත්මක තත්ත්වයක් නේද ?
රාජ්‍ය නායකයින් සහ අමාත්‍යවරු කිහිප දෙනෙක් ලංකාවේ සංචාරය කළාට අපේ විදේශ ප්‍රතිපත්තියේ ලොකු දියුණුවක් දකින්න නැහැ. විදේශ ප්‍රතිපත්තිය කියන්නේ ඉතාම කල්පනාකාරීව හැසිරවිය යුතු දෙයක්. ඒකට හේතුව තමයි අපේ සමස්ත ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ ගෝලීයකරණය තුළ, අන්තර් රාජ්‍ය සම්බන්ධතා මත. අපේ විදේශ සම්බන්ධතා භාවිතා කළ යුත්තේ විදේශ ආයේජන ලබා ගැනීමට, අපනයන වෙළෙඳපොළ පුළුල් කර ගැනීමට සහ තව තවත් ආර්ථිකමය ප්‍රතිලාභ ලබා දෙන අවස්ථා නිර්මාණය සහ ප්‍රවර්ධනය සඳහායි. නමුත් වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ඉතාම දුර්වලයි, ඵලදායීභාවයෙන් තොරයි. මේ පසුබිම තුළ අද අපට මිතුරන් අහිමි වෙලා හෝ මිතුරන් අපෙන් දුරස් වෙමින් සිටිනවා, ඔවුන් දැන් අපව විශ්වාස නොකරන තැන ඉන්නේ. ඒ නිසා අපට ඔවුන්ගෙන් සහයෝගයක් අපේක්ෂා කරන්න බැහැ. අද මේ රටවල් කරන්නේ තම තමන්ගේ වාසියට අදාළ කටයුතු පමණයි. ආණ්ඩුව ලබා තමන්ගේ ණය ටික එකතු කර ගන්න තමයි මේ විදේශ රටවල් කටයුතු කරන්නේ. තමන්ට කියලා ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් නැති නිසා ආණ්ඩුව මඩේ හිටවපු ඉන්න වාගේ කටයුතු කරනවා.
- ආණ්ඩුව ‘යළි මැතිවරණ නැහැ’ කියලා කියද්දිත් සර්වජන බලය පක්ෂය ශක්තිමත් කරමින් සිටිනවා. ඔබේ පක්ෂයේ ඉදිරි දේශපාලන සැලසුම් මොනවා ද ?
ආණ්ඩුව හෝ පැලවත්ත නෙමෙයි ඉදිරි මැතිවරණය ගැන තීන්දුව ගන්නේ, මේ රටේ ජනතාවයි. අපි විශ්වාස කරන ආකාරයට ඉතාම නුදුරු කාලයක ජනතාව අලුත් ආණ්ඩුවක් පත්කර ගන්නවා. ජනතාවගේ ඒ අපේක්ෂාව හිස නමන්න ආණ්ඩුවට සිදුවෙනවා. මේ අවස්ථාවේ දී ජනතාවට නිවැරදි විකල්පයක්, ඔවුන්ට නිවැරදි බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් හැකියාවක්, විභවයක් සහ ශක්තියක් තිබෙන දේශපාලන බලවේගයක් ලෙස ජනතාවගේ මනසේ ජීවත් වීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඕනෑම අවස්ථාවක මැතිවරණයක මුහුණ දෙන්න අපි සූදානම් වෙමින් සිටිනවා.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 මැයි 17 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.

















