ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව අනාරක්ෂිත ලෙස තරුණියන් තිදෙනෙකු යතුරු පැදියකින් ගමන් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ වීඩියෝව සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (10) දින නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ සඳහන් වන්නේ රථවාහන වැරදි ගණනාවක් සම්බන්ධයෙන් අදාළ යතුරුපැදිය ධාවනය කළ තරුණිය අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙට (11) දින අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.
එම නිවේදනය පහත පළ වේ.
පසුගිය දිනවල තරුණියන් තිදෙනෙකු විසින් ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියකින් ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
ලැබුණු තොරතුරු සහ දර්ශන ඔස්සේ බුත්තල පොලිස් ස්ථානය මඟින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලද අතර එහි ප්‍රථිපලයක් ලෙස යතුරු පැදියෙහි ලියාපදිංචි අයිතිකාරිය, පැදිකාරිය සහ පසුපස ගමන් ගත් අනෙක් තරුණියන් දෙදෙනා හඳුනා ගැනීමට එහිදී හැකි විය. ඔවුන් කොළඹගේ ආර, හිදිකිවුල සහ උනාවටුන ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
මෙසේ අපරික්ෂාකාරී ලෙස යතුරු පැදිය පැදවූ වයස අවුරුදු 23ක් වන තරුණියට වලංගු රියදුරු බලපත්‍රයක්ද නොමැති බවට විමර්ශනයේදී අනාවරණය විය. ඒ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදිය ධාවනය, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියේ දෙදෙනෙකු රැගෙන යාම, වැඩිපුර මගීන් රැගෙන යාම, අපරික්ෂාකාරී රිය ධාවනය යන චෝදනා යටතේ පැදිකාරිය හෙට දින (2026.05.11) වැල්ලවාය ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර යතුරු පැදියේ ලියාපදිංචි අයිතිකාරිය ද, රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
බුත්තල පොලිස් ස්ථානය මගින් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.















