අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (08) නිකුත් කළ නියෝගයට අනුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකය ප්‍රතිකාර ලබමින් සිටියදී නාහිමියන් අත්අඩංගුවට ගන්නා ලද බවයි පොලිසිය පවසන්නේ.
බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ බවට පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට චෝදනා එල්ල වී ඇති අතර ඊයේ (08) ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට සිද්ධිය පිළිබඳ කරුණු වාර්තා කළේය. මෙම කරුණු සලකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා සැකකාර නාහිමියන් සහ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමට නියෝග කළ අතර සැකකාර හිමියන්ට විදේශ ගමන් තහනමක් ද පැනවීය.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද (09) අධිකරණයට කරුණු වාර්තා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිසිය පැවසුවේය.














