
චින, තායිවාන, මියන්මාර හෝ වියට්නාම ජාතිකයින් පිරිසක් නිවසක, නිවාස සංකීර්ණයක හෝ හෝටලයක සැකකටයුතු ලෙස නවාතැන් ගෙන සිටී නම් ළඟම පොලිස් ස්ථානට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවට දැනුම් දීමක් කරයි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් අනුව 2026.05.07 වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ කුලියට ලබාගත් නිවසක රැදී සිටි විදෙස් ජාතිකයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය මෙම දැනුම් දීම කළේය.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් අනුව ඊයේ (07) වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ කුලියට ලබාගත් නිවසක රැදී සිටි විදෙස් ජාතිකයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට සිට සයිබර් අපරාධ සිදුකිරීම සඳහා ක්‍රියාත්මකවූ තවත් කණ්ඩායමක් ලෙස මොවුන්ව සැකකරනු ලබන අතර පරිගණක අපරාධ සඳහා යොදාගන්නා තාක්ෂණික උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ. පරිගණක 05ක්, නවීන ජංගම දුරකථන 26ක්, WIFI රවුටර් 05ක් එම උපකරණ අතරට අයත්ය.
අත්අඩංගුවට පත්වූ පිරිස අතර කාන්තාවන් තිදෙනෙක්ද ඇතුළු චීන ජාතිකයින් 21 දෙනෙක්, වියට්නම් ජාතිකයින් 09 දෙනෙක් පසුවන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2026.04.02 වන දින අත්අඩංගුවටගත් චීන හා වියට්නම් ජාතිකයින් 150 දෙනා අතරට මොවුන් සම්බන්ධව බව ආනාවර්ණය වී ඇත.
මින් පෙර 2026.05.06 වන දින කොල්ලුපිටිය පොලිස් ස්ථානය විසින් එම පොලිස් වසමේදී මෙලෙස වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් සයිබර් අපරාධ සිදුකරමින් සිටි බවට සැකකරුවන් වන විදෙස් ජාතිකයින් 74 දෙනෙකු අත්අඩංගුවටගන්නා ලදී.
2026.05.02 දින වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හා තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව තලංගම ප්‍රදේශයේ වැටලීමක් සිදුකර පරිඝණක අපරාධ පනත යටතට ගැනෙන අපරාධවල නිරතව සිටීම සම්බන්ධයෙන් විදේශ ජාතික පිරිමි පුද්ගලයින් 36 දෙනෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරුවන් අවුරුදු 23 ත් 44 ත් අතර වයස්වල පසුවන චීන ජාතිකයින් විය.
එදිනම පරිගණක අපරාධ සිදුකරමින් රැදීසිටින බව අනාවරණය වූ මියන්මාර, වියට්නාම,පිලිපීන, මාලදිවයින්, රුමේනියා,තායිලන්ත ජාතිකයින් ඇතුළු විදෙස් ජාතිකයන් 120 දෙනෙකු රාජගිරිය වැලිකඩ පාරේ නිවාස සංකීරණයක් වැටලීමෙන් අත්අඩංගුවටගැනීමට වැලිකඩ පොලිස් ස්ථානය ක්‍රියාකරන ලදී.
තොරතුර නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් හා පරිසර ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාගෙන් ලැබී තිබේ.
මේ අනුව පසුගිය දින කිහිපය තුළ පමනක් මෙරට තදාසන්න ප්‍රදේශවලින් සයිබර් අපරාධ සිදුකරමින් පසුවන විදෙස් ජාතික සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. පොලිස් ස්ථාන මගින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කරන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එහි පරිගණක අපරාධ විමර්ශන අංශය මෙම විදෙස්ජාතිකයින් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.














