මේ ආණ්ඩුවට ජනමතයක් නෑ, මේ ආණ්ඩුව ජතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා’ කියලා විපක්ෂයේ කුඩා කුඩා කල්ලි මේ වන විට කතාවක් පතුරවමින් සිටිනවා. ඒ නිසා තමයි අපි මේ තේමාව ගන්න තීරණය කළේ. අදටත් මේ රටේ පොදු ජනතාව, බහුතර ජනතාව, විශේෂයෙන්ම කාන්තාවන්, ශිෂ්‍යයින්, වැඩකරන ජනතාව, ගොවීන් සහ ධීවරයින් ඇතුළු සියලු දෙනා ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක කියන කාරණය රටට – ලෝකයට පෙන්වීමට තමයි අපි මේ තේමාව යොදා ගත්තේ
ජාත්‍යන්තර කම්කරු දිනය, මැයි දිනය සැමරීම සඳහා ආණ්ඩුවේ සූදානම කෙසේ ද ?
අපි ජාතික ජන බලවේගය ලෙස ඉතාම ඉහළ සූදානමකින් යුතුව ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා සියලුම සංවිධාන කටයුතු මේ වන විට කරමින් සිටිනවා. ඒ අනුව රට පුරාම මැයි රැළි සහ පෙළපාලි 22ක් පැවැත්වීමට සූදානම්ව සිටිනවා.
මෙවර මැයි දිනයේ තිබෙන විශේෂතා මොනවා ද ?, කම්කරු ජනතාවට කුමක් ලැබෙයි ද ?
‘ජනරජයට – ජන බලයක්’ යන තේමාව යටතේ තමයි මෙවර මැයි දිනය සමරන්නේ. 76 වසරක මෙරට දේශපාලන ඉතිහාසයේ බිහිවුණු ජනතාවගේ පළමු ආණ්ඩුව. පසුගිය 76 වසර පුරාම බලයට පත් වුණ සියලුම ආණ්ඩු බලයට පත් කළේ ජනතාව වුණත්, ජනතාව ඒ ආණ්ඩු බලයට පත් කළාට ඒවා කිසිම අවස්ථාවක ‘ජනතාවගේ ආණ්ඩු’ බවට පත් වුණේ නැහැ. ඒ ආණ්ඩුව හැමදාම සේවය කළේ සීමිත පිරිසකට පමණයි, ඒ ආණ්ඩුවලින් වරදාන, වරප්‍රදාස ලැබුණේ සීමිත පිරිසකට පමණයි. නමුත් වර්තමාන ආණ්ඩුව මහජන ආණ්ඩුවක්. පොදු මහජනතාවට තමන්ගේ උපරිම මැදිහත් වීම් සිදුකරන, ඔවුන්ගේ ජීවිත නංවාලීම වෙනුවෙන්, ඔවුන්ට අලුත් ලෝකයක් ගොඩනැගීම සඳහා කටයුතු කරන ආණ්ඩුවක්. ඒ නිසා, මේ මහජන ආණ්ඩුවට, ජනතාවගේ ආණ්ඩුවට ජනතාවගේ බලය, ආණ්ඩුවත් සමඟ ජනතාව සිටිනවා කියන කාරණය රටට පමණක් නොවෙයි, මුළු ලෝකයටම ප්‍රදර්ශනය කරන අවස්ථාවක් බවට මෙවර මැයි දිනය පත්වෙනවා.
විධායක ජනාධිපතිවරයෙක් ඉන්න, පාර්ලිමේන්තුවේ 2/3කට වඩා බලයක් තිබෙන, පළාත් පාලන ආයතන බහුතරයක බලය දිනාගෙන සිටින ජාතික ජන බලවේගය ආණ්ඩුව බලය පත්වෙලා මාස 18ක් වැනි කෙටි කාලයක් තුළ ඇයි ජනතාව ආණ්ඩුව එක්ක සිටිනවා කියලා රටට – ලෝකයට පෙන්වන්න යන්නේ ?, ජනරජයට – ජන බලයක් කියලා තේමාවක් ගත්තේ ඇයි ?
‘මේ ආණ්ඩුවට ජනමතයක් නෑ, මේ ආණ්ඩුව ජතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා’ කියලා විපක්ෂයේ කුඩා කුඩා කල්ලි මේ වන විට කතාවක් පතුරවමින් සිටිනවා. ඒ නිසා තමයි අපි මේ තේමාව ගන්න තීරණය කළේ. අදටත් මේ රටේ පොදු ජනතාව, බහුතර ජනතාව, විශේෂයෙන්ම කාන්තාවන්, ශිෂ්‍යයින්, වැඩකරන ජනතාව, ගොවීන් සහ ධීවරයින් ඇතුළු සියලු දෙනා ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක කියන කාරණය රටට – ලෝකයට පෙන්වීමට තමයි අපි මේ තේමාව යොදා ගත්තේ.
ජනතා විමුක්ති පෙරමුණ 1965 සිට වසර 60ක් මේ රටේ විපක්ෂ දේශපාලනය කළේ. ඒ කාලය තුළ ජවිපෙ කළේ කම්කරු අරගලවලට නායකත්වය දීම සහ රජයට බලපෑම් කිරීම පමණයි. නමුත් දැන් ජවිපෙ නායකත්වය දෙන ආණ්ඩුවක් තිබෙනවා. ඔබගේ පක්ෂයේ භූමිකාව සම්පූර්ණයෙන් වෙනස් වෙලා ‘රටේ පාලකයින්’ බවට ජවිපෙ පත්ව සිටිනවා. ඒ අනුව මේ රටේ වැඩ කරන ජනතාවට මැයි දිනය දා හිමිවෙන්නේ මොනවාද ?, වැඩ කරන ජනතාව ආණ්ඩුවෙන් යම්කිසි සහනයක් බලාපොරොත්තු වෙනවා නේද ?
වර්තමාන ආණ්ඩුව ගෙවී ගිය මාස 18කට ආසන්න කාලය තුළ මෙතෙක් මේ රට පාලනය කළ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයට මේ රටේ සමස්ත වැඩකරන ජනතාවට සේවය කරලා තිබෙනවා, සහන දීලා තිබෙනවා, අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. අපි රාජ්‍ය අංශයට 60%කට වඩා වැඩි විශාල වැටුප් වැඩි වීමක් ලබා දුන්නා, ඔවුන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය 80%කට අධික ප්‍රතිශතයකින් ඉහළ දැම්මා. ඒ වගේම රාජ්‍ය සේවකයින්ට රුපියල් ලක්ෂ 50 දක්වා දේපොළ ණය ලබ දෙන්න, ඒ ණය සඳහා ආණ්ඩුවෙන් පොලී සහනයක් ලබා දෙන්න පියවර ගත්තා. ඒ වගේම උත්සව අත්තිකාරම් මුදල රුපියල් 10,000 සිට 15,000 දක්වා වැඩි කළා. ආපදා ණය රුපියල් 250,000 සිට 400,000 දක්වා වැඩි කළා. ඒ වගේම සමස්ත රාජ්‍ය සේවයම දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර, ස්වාධීන රාජ්‍ය සේවයක් ගොඩනගන්න අපි කටයුතු කළා. ඒ වගේම රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වැටුප් කොමිෂමක් පත් කිරීමට පියවර ගනිමින් සිටිනවා. රාජ්‍ය සේවයේ අනියම්, ආදේශක ආදි වශයෙන් රැකියාව කළ 9800ක් ස්ථිර කිරීමට අපි පියවර ගත්තා. 127,000කට අධික පිරිසක් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය තනතුරු සඳහා බඳවා ගැනීමට පියවර ගත්තා. ඒ වගේම පෞද්ගලික අංශයේ මූලික වැටුප රුපියල් 27,000 දක්වාත්, 2026 සිට රුපියල් 30,000 දක්වාත් වැඩි කිරීමට කටයුතු කළා. ඒ වගේම 2026 අයවැයෙන් වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1750 දක්වා වැඩි කළා. මේ ආකාරයට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් පසුගිය මාස 18 තුළ ලබාදීමට අපි පියවර ගත්තා. මෙහි ඇති විශේෂත්වය තමයි මේ කිසිම ඉල්ලීමක් ඔවුන්ගේ උද්ඝෝෂණවලින්, වැඩවර්ජනවලින්, අරගලයකින් තොරව තමයි වර්තමාන මහජන ආණ්ඩුව විසින් ලබා දුන්නේ. මෙතුළින්ම පේනවා වර්තමාන ආණ්ඩුව කොතරම් ජනතාවදී ආණ්ඩුවක් ද, මහජන ආණ්ඩුවක් ද කියලා.
පසුගිය දිනවල ඉන්ධන මිල ඉහළ යාම, විදුලි බිල ඉහළ යාම සමඟ බස් ගාස්තුවේ සිට තේ කෝප්පය දක්වා සියලුම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගොස් තිබෙනවා. මේ හරහා වැඩ කරන ජනතාවගේ මූර්ත වැටුප සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා, ජීවන වියදම ඉහළ ගොස් තිබෙනවා. මේ ගැන ආණ්ඩුව සැංවේදීව සිටිනවා ද ?, මේ ගැටලුව ආණ්ඩුව යම්කිසි පිළියමක් යොදනවා ද ?
ඉතාම පැහැදිලිව අපි පියවරක් ගන්නවා. වර්තමාන ආර්ථික දුෂ්කරතා ඇති වුණේ ආණ්ඩුවේ පාලනයෙන් තොර මැදපෙරදිග අර්බුදය හේතුවෙන් බව අපි කවුරුත් දන්නවා. අපට පාලනය කළ හැකි අර්බුද, අභියෝග අපි ඉතාම සුළු කාලයක් තුළ සම්පූර්ණයෙන්ම පාලනය කළා, කළමනාකරණය කළා. දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වුණ තත්ත්වය ඒකට හොඳ උදාහරණයක්. ඉතාම කෙටි කාලයක් තුළ මේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමට අපට හැකි වුණා. මැදපෙරදිග අර්බුදය 100%ක්ම අපේ පාලනයෙන් තොර තත්ත්වයක්. නමුත් මේ අර්බුදය තුළ පවා ඉන්ධන, විදුලිබලය, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව ජනතාවට සැපයීමට අපට හැකි වුණා. උද්ධමනය 5%ක් වැනි පහළ අගයක පාලනය කර තිබෙනවා. ඒ වගේම ඉන්ධන, ගෑස් සහ විදුලි බිල සැලකිය යුතු ලෙස පාලනය කිරීමට අපට හැකි වුණා. මේ හරහා විපක්ෂයේ සිහින බොඳ වුණත් ජනතාවගේ ජීවිත ස්ථාවර වුණා. විපක්ෂයේ ප්‍රාර්ථනා බිඳ දමින් සමස්ත ආර්ථිකය ඉතාම නිවැරදි ලෙස කළමනාකරණය කිරීමට අපේ ආණ්ඩුව සමත්ව සිටිනවා. වත්මන් ගෝලීය අර්බුදය තුළ ජනතාවට අවම පීඩනයක් ඇති රටක් ලෙස ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. අපේ ආසියානු කලාපයේ රටවල් වල පවා අපට වඩා දැවැන්ත පීඩනයක් තිබෙනවා. මම මෙහි දී අදහස් කරන්නේ නැහැ ජනතාව ඉතාම හොඳ තත්වයක ඉන්නවා කියලා. නමුත් යම්කිසි ආකාරයක පාලනයක් සහිතව, අවම පීඩනයක් සහිතව මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට අපි සමත්ව තිබෙනවා.
පාඩු ලබන රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරන වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කළා. එහි වර්තමාන තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
සමහර රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාම ඵලදායී නැති නම් ඒ ආයතන ඒකාබද්ධ කිරීම හෝ වෙනත් කළමනාකරණ ප්‍රවේශයක් ගැනීම තමයි වඩාත් වාසි සහගත වෙන්නේ. අපට අවශ්‍ය වන්නේ රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමටයි. ඒ වෙනුවෙන් අදාළ ආයතන යම්කිසි ආකාරයකට ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි අවධානය යොමු කරලා තිබෙනවා.
ඔබ වෘත්තීය සමිති නායකයෙක්, ගුරු වෘත්තීය සමිති නායකයෙක්. ඒත් අද කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා. ඔබේ ආණ්ඩුව පසුගිය මාස 18ක කාලය තුළ කම්කරුවන් වෙනුවෙන්, ගුරුවරුන් වෙනුවෙන් ලබා දුන් සේවය සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක් ද ?
අපේ ආණ්ඩුව පසුගිය කාලය තුළ රාජ්‍ය සේවකයින් ද ඇතුළුව වැඩකරන ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටස් කළා. රාජ්‍ය සේවයට ලබා දුන් සියලුම දේවල් ගුරුවරුන්ටත් ලැබුණා. ඒ වගේම ගුරුවරුන් විශේෂ කොට සලකා වැඩපිළිවෙළ කිහිපයක් ක්‍රියාත්මක කළා. දුෂ්කර සේවයට ලබා දෙන දීමනාව රුපියල් 1500 සිට 3000 දක්වාත්, 2500ක තිබුණ දීමනාව 4000 දක්වාත් වැඩි කර තිබෙනවා. විදුහල්පති දීමනා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා, ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා. දුෂ්කර දීමනාවලට අදාළ චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් වීමට නියමිතයි. ඊට අමතරව ගුරුවරු, විදුහල්පතිවරු ඇතූළු අධ්‍යාපන ක්ෂේත්රය ඉලක්ක කරගෙන අපි වෙනම වැඩපිළිවෙළවත් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටිනවා. ඒ අනුව අපේ ගුරු සේවය ඉහළම වෘත්තික සේවයක් බවට පත් කිරීමට, ඔවුන්ගේ වැටුප් තල තව දුරටත් ඉහහළට ඔසවන්න සහ ජාත්‍යන්තරව පිළිගත් වෘත්තිකයෙක් බවට ගුරුවරයා පත් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම වෙනුවෙන් ‘අධ්‍යාපන සභාව’ ස්ථාපිත කිරීම වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. මැයි අග හෝ ජූනි මුල අධ්‍යාපන සභාව ස්ථාපිත කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගත් පසු පනතක් මඟින් මේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්රය තුළ තිබෙන මානව සම්පත් ඌනතාවයට පිළියම් යෙදීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. ඒ වගේම මේ ක්ෂේත්රයේ තිබෙන අනෙකුත් ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් අපි නිරන්තර අරගලයක් කරනවා.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 මැයි 03 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.












