තමා සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අයුරින්ම අනෙක් ආගම් සහ සංස්කෘතීන් ද ආරක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
ඔහු පැවසුවේ ආගමක් – දහමක් විශ්වාස නොකරන අයට තවත් කෙනෙකුගේ ආගමක් – දහමක්, සංස්කෘතියක් ආරක්ෂා කිරීමට නොහැකි බවයි.
අද (11) නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු අවධාරණය කළේ ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් බෞද්ධයන් බවත් බෞද්ධ සංස්කෘතිය හා දර්ශනය ආරක්ෂා කිරීමෙන් රටේ සියලුම ආගම්වලට ප්‍රතිලාභ ලැබෙන බවත්ය.
මේ රට බෞද්ධ පදනමක් මත ගොඩනැගී ඇති බව තමා විශ්වාස කරන බවත් බුද්ධාගමේ මුල් බැසගත් ජාතියකට සියලු ආගම් ආරක්ෂා කළ හැකියි බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ නාමල් රාජපක්ෂ මහතා “අපි සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. මේ රටේ බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව. අපිත් බෞද්ධයෝ. ඒ නිසා අපි සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. බුද්ධ ධර්මය වෙනුවෙන්, බුද්ධ සාසනය වෙනුවෙන් සහ මහා සංඝ රත්නය වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදයක් නෙමෙයි. ඒ වගේම බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය වගේම මේ රටේ සියලු ආගම් සහ සංස්කෘතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි විශ්වාස කරනවා මේ රට ගොඩනැගී තිබෙන්නේ බෞද්ධ පදනම මත. බෞද්ද පදනම මත ගොඩනැගුණ රටේ සියලු ආගම් ආරක්ෂා කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා අපි බයත් නැහැ. ඔව් මම සිංහල තමයි, මම බෞද්ධ තමයි. ඒ වගේම මම අනෙක් සංස්කෘතීන් ආරක්ෂා කරන්නත් කටයුතු කරනවා. ඒ වගේම මට අනෙක් සංස්කෘතීන් ආරක්ෂා කරන්න පුළුවන් වෙලා තිබෙන්නෙත් මම වගේ සංස්කෘතිය, මගේ දර්ශනය සහ මගේ ආගම විශ්වාස කරන නිසා. නමුත් ආගමක් දහමක් විශ්වාස නොකරන අයට තවත් කෙනෙකුගේ ආගමක් – දහමක්, සංස්කෘතියක් ආරක්ෂා කරන්න බැහැ”.
මෙහිදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසුවේය, “ආණ්ඩුව තීන්දු කරන්න ඕන ඡන්දේ තියනවද, නැත්නම් මාව හිරේ දාලා ඡන්දෙකට යනවද, ඊට කලින් ඡන්දයකට යනවද කියලා. ඔය දෙක අතර දෙගඩියාවෙන් ඉන්නේ. ආණ්ඩුව මට ඇඟිල්ල දිගු කරලා හරියන්නෙ නෑ. මම විශ්වාස කරනවා නායකයෝ බිහිවෙන්න ඕන. ජනතාව හොඳ කෙනෙක් තෝරාගනී. මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා. අවසානයේ නායකයෝ නැති, වෙනත් අය විසින් මෙහෙයවන රූකඩ චරිත නායකත්වයට බිහිවෙයි. ඒ හින්දා දේශපාලන පක්ෂවල ඉන්න නායකයෝ හැමෝම ඊළඟ නායකත්වයට සූදානම් වෙන්න ඕන. ජනතාව හොඳ පුද්ගලයෙක් පත්කරගනී”.















