ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

දස වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (07) පස්වරුවේ රැස් විය.

මින් පෙර පැවති සාකච්ඡාවල ප්‍රගතිය විමසීම මෙහිදි සිදු කෙරුණු අතර, උතුරේ ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් යොමු කරන ලද බොහෝ ගැටලුවලට සාධනීය විසදුම් ලබා දීමට පියවර ගෙන තිබෙන බව එහිදී සඳහන් කෙරිණි. එමෙන්ම මෙම කටයුතු සිදුකරගෙන යාමේදි තවදුරටත් පවතින බාධා සහ ගත යුතු පියවර පිළිබඳව  ද එහිදී සාකච්ඡා විය.

ත්‍රිකුණාමලය, මනෛයාවෙලි ප්‍රදේශයේ පවතින ‘සැන්ඩි බේ’ වෙරළ තීරය මහජනතාවට බාධාවකින් තොරව භාවිත කිරීමට අවස්ථාව ලබා දීම සහ ධීවර ගැටලුවලට විසඳුම් ලබා දීමට අදාළව ගෙන ඇති පියවර පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ඔලුවිල් වරාය ආශ්‍රිත ඉඩම් ඛාදනයට ලක් වීමේ ගැටලුව පිළිබඳවද විශේෂ  අවධානය ‍යොමු කෙරුණු අතර, ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳව NARA ආයතනයේ සහාය ලබා ගනිමින්  නව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම සහ හෙලිකොප්ටර් සංචිතය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදි සාකච්ඡාවට ලක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website