අක්මීමන ප්‍රා. සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ මිලින්ද හපුතන්ත්‍රිට අවුරුදු 3ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ හපුතන්ත්‍රිගේ මිලින්ද හපුතන්ත්‍රි යන අයට අධිකරණය විසින් අවුරුදු 3ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලද බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ.

එම නිල නිවේදනය පහත පළ වේ.

වත්කම් විමර්ශනයකට අදාළව අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ හපුතන්ත්‍රිගේ මිලින්ද හපුතන්ත්‍රි යන අයට එරෙහිව HCB/374/25 යටතේ ගොණු කර තිබූ නඩුවට අදාළව විත්තිකරු වරදකරු කරමින් ගරු මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මැතිතුමන් විසින් පසුගිය 2026 ඔක්තෝබර් මස 01 වන දින තීන්දුව ලබා දෙන ලදි.

2011 – 2013 වර්ෂවල දී අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපති මෙන් ම උප සභාපති වශයෙන් ද කටයුතු කළ හපුතන්ත්‍රිගේ මිලින්ද හපුතන්ත්‍රි යන අය 2011 මාර්තු මස 31 වන දින සිට 2013 පෙබරවාරි මස 28 වන දින දක්වා අතරතුර වූ මාස 23ක කාලයක් සඳහා සිය දැනගත් ආදායමට වඩා වියදම් කරන ලද මුදල අල්ලස් මඟින් උපයාගත් මුදලක් බවට වන පූර්වානුමිතියෙන් අල්ලස් පනතේ 23 (අ) (1) වගන්තිය යටතේ චෝදනා කර, මෙම නඩුව ගොණු කර තිබුණි.

ඒ අනුව, කොළඹ මහාධිකරණ අංක 11 හමුවේ පැවැති නඩු විභාගය අවසානයේ අවුරුදු 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම් හා රුපියල් පන්දහසක (රු.5,000/-) දඩයක් සමඟ රුපියල් ලක්ෂ හැත්තෑපහක (රු.7,500,000/-) දණ්ඩනයක් නියම කරන ලදි. එසේ ම, එකී රුපියල් පන්දහසක (රු.5,000/-) දඩය නොගෙවන්නේ නම්, මාස 3ක ලිහිල් සිරදඬුවම් ද, රුපියල් ලක්ෂ හැත්තෑපහක (රු.7,500,000/-) දණ්ඩනය නොගෙවන්නේ නම් මාස 24ක ලිහිල් සිර දඬුවම් ද නියම කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website