ආණ්ඩුව සල්ලි විසි කරලා වරද වහගෙන ජාමේ බේර ගන්න හදනවා – නලින් බණ්ඩාර ජයමහ – පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය

  • දිට්වා සුළි කුණාටුව ස්වභාවික ආපදාවක් වුණත් විපක්ෂ, විශේෂයෙන් ඔබ දැඩිව කියන්නේ මේකට ආණ්ඩුව, ජනාධිපතිවරයා වගකිව යුතුයි කියලා. ඔභ මේ චෝදනාව කරන පදනම කුමක් ද ?

අපි දන්නවා මාර්ග අනතුරක් කළ රියැදුරා තමන්ගේ වැරැද්ද වහගන්න එක්කෝ පොලිසියට සල්ලි දෙන්න හදනවා, නැත්නම් අනතුරට ලක් වුණ පාර්ශ්වයට සල්ලි දෙන්න හදනවා, තුවාලකරුට සල්ලි දෙන්න හදනවා, නැතිනම් මරණකරුගේ පවුලේ අයට සල්ලි දෙන්න හදනවා. මේ විදිහට තමයි වරදක් කළ රියැදුරෙක් අනීතිකව බේරෙන්න හදන්නේ. මං දකින ආකාරයට අද මේ ආණ්ඩුවත් කටයුතු කරමින් ඉන්නේ අන්න අර වැරදි කළ රියැදුරෙක් අනීතිකව තමන්ගේ වරද වහගන්න උත්සාහා කරනවා වාගේ. අද මේ ආණ්ඩුව උත්සාහා කරනවා සල්ලි විසි කරලා, සල්ලි බෙදලා තමන්ගේ අතින් සිදු වුණ අනතුර, වරද වහගන්න.

තාම ආණ්ඩුවට කියා ගන්න බැරි වෙලා තියෙනවා මේ මහා අනතුරෙන් කී දෙනෙක් මැරුණ ද කියලා. මේ වන විට මිය ගිය සංඛ්‍යාව සහ අතුරුදන් වුණ සංඛ්‍යාව කියන්න පුළුවන් වෙන්න ඔ්නෑ. ඒක කියා ගන්න නොහැකි වෙන්න බැහැ. මොකද සියලුම රාජ්‍ය නිලධාරීන් මේ වන විට ගමට ගිහින් තියෙනවා, රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. නමුත් මැරුණ ගානත්, අතුරුදන් වූ ගාණත් ආණ්ඩුව හංඟ ගෙන ඉන්නවා. ඒකට හේතුව තමයි මේක මිනී මැරුමක්.  මොකද මිනි මරුවෙක් කිසිම අවස්ථාවක කියන්න යන්නේ නැහැනේ මම මෙච්චරයක් මැරුවා, අච්චරක් මැරුවා කියලා. මිනී මරුවා බලන්නේ කොහොම හරි තමන් බේරෙන්න. ඒ නිසා අද මරණ ගාණත්, අතූරුදන් වුණ ගාණත් හෙළි කිරීමෙන් ආණ්ඩුව වැළකී සිටිනවා, කල් මරමින් ඉන්නවා. ඒකට හේතුව තමයි මේ සියලුම මරණ වලට, අතුරුදන්වීම්වලට ආණ්ඩුව වගකිව යුතුයි.

11 වැනිදා, 12 වැනිදා, 14 වැනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ ගැන කිව්වා, ජාත්‍යන්තර මාධ්‍ය, ඉන්දීය මාධ්‍ය මේ ගැන කිව්වා. ඒ වගේම 25 වැනිදා හිරු සහ තවත් මාධ්‍ය ආයතන කිව්වා ‘සියලුම ගංඟා පිටාර ගලනවා’කියලා. මේ විදිහට අනතුරු ඇඟවීම් ඔ්නෑ තරම් තිබුණා. අපි පාර්ලිමේන්තුවේ කතා කළා. හැබැයි ආණ්ඩුවට මේ ගංවතුරට වඩාා වැදගත් වැඩක් තිබුණා. ඒක තමයි දෙසැම්බර් 12 වැනිදා මාළිමාවේ අලුත් ජාතික දිනය සමරන්න තමයි ආණ්ඩුවට අවශ්‍ය වුණේ. ඒ නිසා ආණ්ඩුව බය වුණා මේ ගංවතුරට ජාතික දිනය යටවෙයි කියලා. ඒ නිසා මේක පුළුවන් තරම් ෂේප් එකෙන් ගලා ගෙන යන්න පුළුවන් වෙයි කියලා තමයි ආණ්ඩුව හිතුවේ. ආණ්ඩුව හිතුවා මේක මහා ගංවතුරක් නෙමෙයි, මේක සුළු ගංවතුරක්, ලොකු අනතුරක් නොවී ජාමේ බේර ගන්න පුළුවන් වෙයි කියලා. ආණ්ඩුව තමයි මේක තක්සේරු කළේ, විද්වතුන් නෙමෙයි, මේ ගැන ප්‍රමාණික දැනුමක් තියෙන ක්ෂේත්‍රයේ අය නෙමෙයි මේක තක්සේරු කළේ. ආණ්ඩුව පුළුවන් තරම් මේක දියාරු කරලා තමයි ගණනය කිරීම් කළේ.

  • විපක්ෂය කුමන චෝදනා කළත්, විවේචන කළත් ආණ්ඩුව මේ වන විට විශාල වැඩ කොටසක් කරනවා නේද ?, විශාල වන්දියක් ගෙවන්න යනවා නේද ?

අද වන විට ආණ්ඩුව සල්ලි විසි කරලා, සල්ලි බෙදලා  මේ අනතුර අවම කර ගන්න උත්සාහා කරමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වගේම ජනාධිපති තුමා පවා විජේවීර 1970 ගණන්වල කිව්ව කතාවක් මතුරමින් ඉන්නවා. ‘අඩි 5000ට උඩින් ඉදිකිරීම් කරන්න හොඳ නෑ, ජලාශ හදන්න හොඳ නෑ’ කියලා එදා විජේවීර කිව්වලු. අපි දැක්ක එක මන්ත්‍රීවරයෙක් කිව්වා ‘1977න් පස්සේ හදපු ජලාශ නිසා තමයි මේ මහා අනතුර වුණේ’ කියලා.

මං ඒ මන්ත්‍රීතුමාට කියනවා අපේ රටේ කිසිම ජල විදුලි බලාගාරයක් හෝ ජලාශයක් හෝ කිසිම මහා පරිමාණ ඉදිකිරීමක් අඩි 5000ට උඩින් කරලා නැහැ කියලා. අපේ රටේ තියෙන ජලාශවලින්, ඉහළ කොත්මලේ තියෙන ජලාශය තියෙන්නේ අඩි 4000කටත් වඩා පහළින්, මට මතක හැටියට අඩි 3800ක් විතර උසින්. ඒ වගේම 1977ට කලින් හදපු ලක්ෂපාන ජලාශය, මාඋස්සාකැලේ සහ කාසල්රී ජලාශ තියෙන් අඩි 3800ට වඩා පහළින්.

ඒ නිසා අපේ රටේ මහවැලි ජලාශ පද්ධතිය හෝ, ලක්ෂපාන ජලාශ පද්ධතිය හෝ කිසිම තැනක ජලාශයක් හෝ විදුලි බලාගාරයක් ඉදිකරලා නැහැ අඩි 5000ට උඩින්. ඉස්සෙල්ලාම  මේක මේ ජෙප්පන්ට කියලා දෙන්න ඔ්නෑ. ඒක අනුර කුමාර දිසානායක මහත්තයත් පස්සේ කිව්වා. එයා කිව්වා අඩි 5000ට ෑඩ සේරම කැලෑ වගා කරන්න ඔ්නෑ කියලා. මම එතුමට කියනවා මේ අඩි 5000ට උඩ කැලෑ වගා කරන්න තියෙන ප්‍රමාණය කොච්චරද කියලා.  සිරිපාදේ අඩිවිය ඇතුළු අඩි 5000ට උඩින් කැලැ වගා කරන්න තියෙන්නේ වර්ග කිලෝ මීටර් 25ක් වාගේ සීමාවක් මණයි. නුවර දිස්ත්‍රික්කයේ නකල්ස් කඳුවල තියෙන්නේ වර්ග කිලෝ මීටර් පහක් පමණ සීමාවක්, මේ සේරම කැලෑ. නුවරඑළිය ගත්තොත් අඩි 5000ට උඩින් වර්ග කිලෝමීටර් 400ක් පමණ තියෙනවා. ඒ තුළ පිදුරුතලාගල, කිරිගල්පොත්ත, හොර්ටන්තැන්න සහ නුවරඑළිය නගරය තියෙනවා. ඒ අතරිනුත් වැඩි ප්‍රමාණයක්  තියෙන්නේ වනාන්තර. අඩි 500ට උඩින් වනාන්තර නොවන ප්‍රදේශ තියෙන්නේ නුවරඑළිය නගරය විතරයි.  ඉතිං නුවරඑළිය නගරයත් වහලා කැලෑ වවන්නද යන්නේ කියලා මම ආණ්ඩුවෙන්, ජනාධිපතිවරයාගෙන් අහනවා.

  • ඔබ කියන්නේ කැලෑ වවන්න අවශ්‍ය නැහැ කියල ද ?

කැලෑ වවන්න ඔ්නෑ, අඩි 5000ට ඉහළින් පමණක් නෙමෙයි, ජලාශ ආශ්‍රිත පෝෂක ප්‍රෙදේශවල, වැව් රක්ෂිතවල කැලෑ වවන්න ඔ්නෑ. ගංඟා ද්‍රෝණි, ඇළ ඉවුරුවල කැලෑ වවන්න ඔ්නෑ. අපි ඒක නරකයි කියලා කියන්නේ නැහැ. නමුත් රෝහණ විජේවීර‌ගේ පරණ කතාවක් අල්ල ගෙන බොරු කියන එක තේරුමක් නැහැ. 1977න් පස්සේ ජලාශ ඉදිකළ නිසා තමයි මේ විනාශය වුණේ කියලා කියනවා. නමුත් 1977න් පස්‌ේ හදපු මහා ජලාශ නිසා තමයි මේ තරම් හරි ගංවතුර පාලන වෙන්නේ.

උදාහරණක් විදිහට පහළ කොත්මලේ ජලාශය ගත්තොත්, ඒක හදන්න කලින් අවස්ථා ගණනාවකදී ගම්පොළ නගරය යටවෙලා තියෙනවා. ගම්පොල ස්ටේෂන් එකට ගියොත් ගංවතුර ලකුණු කළ අවස්ථා බලා ගන්න පුළුවන්. නමුත් කොත්මලේ ජලාශය හැදුවට පස්සේ ගම්පොළ නගරයට යටවෙන එක අවම වුණා. නමුත් මේ වෙලාවේ මොකද වුණේ ?, කොත්මලේ ජලාශයේ වතුර හරියට කළමනාකරණය කළේ නැහැ, ඒ නිසා ගම්පොළ නගරයට සහ පොදුවේ මහ නුවර දිස්ත්‍රික්කයට සිදු වුණා.

  • ඔබ මෙවැනි ප්‍රකාශයක් කරන පදනම කුමක් ද ?

අපි හිතන විදිහට, අපි අනුමාන කරන විදිහට මේ වාරි ඉංජිනේරුවෝ, මහවැලි ඉංජිනේරුවෝ කල් ඇතිව ජලය මුදා හරින්න කියලා අමාත්‍යාංශය දැනුවත් කළා. මං දැක්වා කෘත්‍රිම ගේට්ටු විවෘත වෙන එක ගැන ජනාධිපතිතුමා කතා කරනවා. කෘත්‍රිම ගේට්ටු අරෙන්න අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය නැහැ. ජලාශය උපරිම ධාරිතාවට පැමිණියාට පස්සේ ඒක කොහොමටත් ඇරෙනවා. ප්‍රශ්නේ කෘත්‍රිම ගේට්ටු ඇරෙන  එක නෙමෙයි. මේ කොල්මලේ ජලාශය කියන්නේ අති විශාල ජලාශයක්. මේකේ ජලය අඩුම ගානේ 50%කින්  අඩු කළා නම් මේ අනතුර 75%කින් අඩුකර ගන්න තිබුණා. 50%කින් ජලය අඩු කරන්න සතියකට වඩා වැඩි කාලයක් තිබුණා. ඒක කරන්න පුළුවන්කම තිබුණා. ගම්පොළ නගරය මේ තරම් කාලයක් ආරක්ෂා වුණේ කොත්මලේ ජලාශය තිබුණ නිසා. කොත්මලේ ජලාශය හදන්න කලින් ගම්පොළ නිතරම යට වෙනවා. නමුත් මේ පාර කොත්මලේ ජලාශයේ ජලය පාලනය කරන්න මේ ආණ්ඩුවට නොහැකි වුණ නිසා තමයි මේ විනාශය සිදු වුණේ.

අපි දැක්කා ජනාධිපතිතුමා  විදුලි ඉංජින්රුවෙකුගෙන් අහනවා සයිරන් නළාවක් ගැන. මේවා බොරු නාට්ටි විදිහට තමයි අපි දකින්නේ.  ජලාශයේ ගේට්ටු  ඔටෝ විවෘත වුණත් පැය, පැය භාගයක් විතර යනවා ගම්පොළ නගරයට වතුර එන්න. වතුර ආපු ගමන් එක පාරට නගරේ යට වෙන්නේ නැහැ. අවශ්‍ය තරම් කාලය තිබුණා ගම්පොළ නගරයේ ජනතාව ඉවත් කරන්න, ඔ්නෑ තරම් කාලය තිබුණා ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කරන්න.

  • ආපදා කළමනාකරණයට හදිසි නීතිය දාන්න කියලා කිව්වෙත් විපක්ෂයමයි නේද ?

අපි කට කැඩෙනකම් කිව්වා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන්න කියලා. හදිසි නීතියත් එක්ක පොලිසියට, හමුදාවට බලය පැවරුවා නම් මේ ජනතාව ඉවත් කරන්න ඒක කරන්න පුළුවන් වෙනවා. නමුත් ඒ එකක්වත් නොකර දැන් සල්ලි විසිකරලා ජාමේ බේර ගන්න හදනවා. මේ අනතුර වළක්වා ගත හැකිව තිබුණා, නැතිනම් අවම කරගත හැකිව තිබුණා. විශේෂයෙන්ම අවම කර ගන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒක කර ගන්න බැරි වුණා.

  • ඒ ඇයි ?, ඔබ කියන හේතුව කුමක් ද ?

ඒකට හේතුව තමයි ආණ්ඩුව මේක බොහොම දියාරු විදිහට තමයි දැක්කේ. ආණ්ඩුව 12 වැනිදා ඩෙගා නටන්න තමයි වුවමනා වෙලා තිබුණේ. මළිමාවේ ඊනියා  ජාතික දිනය සමරන එක ගැන තමයි ඔළුවේ තිබුණේ.  මේගොල්ලන්නට අවුරුදුත් නෑ, වෙසකුත් නෑ, පොසොන් එකත් නෑ, නත්තලුත් නෑ. ඒ නිසා අලුත් දවසක් හොයා ගත්තා ඩෙගා නටන්න. මේ ඊනියා ජාතික දිනය සමරන්න ගිහිලා තමයි අවසානයේ රටේ ජනතාව‌ගේ ජීවිත දහස් ගාණක් බිලි දුන්නේ.

රතුඉර පුවත්පතේ 2025 දෙසැම්බර් 14 කලාපයේ ප්‍රකාශයට පත් වූ ලිපියකි

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website