දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රජය අපේක්ෂා කළ බොහෝ ආර්ථික හා සංවර්ධන සැලසුම් අනපේකෂිත ලෙස වෙනස් කිරීමට සිදුවුවත් දිව්ටා සුළි කුණාටුව කළ විනාශ හානි පූර්ණය කිරීම සහ විපතට පත් ජනතාව යළි නඟාසිටුවීමට රජය පසුගිය සතිය පුරා ප්රමුඛ අවධානයක් යොමු කළේය. මෙහිදී ජනපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වඩාත් කාර්යබහුල වූ අතර ඔවුන් දෙදෙනා විපතට පත් ජනතාවට සහන සැලසීම ගැන සාකච්ඡා කරමින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවෙමින්, රාජ්‍ය නිලධාරීන් සමඟ ඉදිරි සැලසුම් සකස් කරමින් අතිෂය කාර්ය බහුල සතියක් ගත කළ අතර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව රැස්වීම් ගණනාවකට ද ජනපතිවරයා සහභාගී වුණේය.
-
ජනපති මහා නාහිමිවරු බැහැදකී

දිට්වා සුළි කුණාටුව ඇති කළ විනාශය හමුවේ ජන ජීවිතය සහ සමස්ත ආර්ථික පරිසරය යළි යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් අතිෂය කාර්යබහුලව සිටි ජනපතිවරයා පසුගිය 06 වැනිදා උදෑසන මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. පවතින ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා මල්වතු මහා නා හිමියන් දැනුවත් කරමින් කෙටි පිළිසඳරක නිරත වුණේය.
එදිනම ජනපතිවරයා අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පවතින ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ අස්ගිරි මහා නා හිමියන්ව ද දැනුවත් කළ ජනාධිපතිවරයා උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත වූ අතර ඉන් පසුව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනු නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමඟ ද කෙටි පිළිසඳරක නිරත වුණේය.
-
අවතැන් වූ ජනතාවට සුරක්ෂිත ජීවිතයක් ලබා දීම වෙනුවෙන් මැදිහත් වෙමු
එදිනම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වූ ජනාධිපතිවරයා දිට්වා සුළි කුණාටුවෙන් මහ නුවර දිස්ත්‍රික්කය මුහුණ දුන් හානි ප්‍රතිපූර්ණය කරමින් කඩිනමින් ජන ජීවිතය සහ ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් කළ යුතු ආකාරය ගැන දිස්ත්‍රික් දේශපාලන නායකත්වය සහ රාජ්‍ය නිලධාරීන් සමඟ දීර්ඝව සාකච්ඡා කළේය.
ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන සියලුදෙනා ඒකාබද්ධ කරගත් මෙහෙයුම් යාන්ත්‍රණක් අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.
දිස්ත්‍රීක්කයේ මහා මාර්ග, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයුම වාරිමාර්ග සහ සන්නිවේදන පද්ධතිය යථාවත් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කඩිනම් වැඩසටහන්වල ප්‍රගතිය සහ අවසන් කෙරෙන කාලය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා වෙන් වෙන්ව විමසා බැලීය.

ස්ථීර ලෙස මාර්ග පද්ධතිය ඉදිකරන තුරු ඉදිරි දින 25 සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් මාර්ග පිළිසකර කිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නැවත මෙවන් ව්‍යසනයන් ඇති වීම වළක්වා ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවල බලතල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනවසර ඉදිකිරීම් සඳහා මින් ඉදිරියට ඉඩ නොදිය යුතු බවත්, එම ස්ථානවලට විදුලි සැපයුම ලබා නොදීමට විදුලිබල මණ්ඩලයටද වගබලා ගත යුතු බවත් පෙන්වා දුන්නේය.
ව්‍යසනයෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි ඇතැමුන් අපේක්ෂා කළද ඉතා කෙටි කාලයක් තුළ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට රජයට හැකියාව ලැබී තිබෙන බවත්, තවත් කෙටි කාලයක් සියලුදෙනා එකට වැඩ කිරීමෙන් අපේක්ෂිත ඉලක්ක සපුරාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
-
ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත්

දෙසැම්බර් 06 වැනිදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වූ ජනපතිවරයා ආර්ථික තීන්දු තීරණ ගැනීමේ දී සහ සැලසුම් සකස් කිරීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බවත්, එබැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම නිලධාරීන්ගේ වගකීම බවත් පෙන්වා දුන්නේය.
ආපදාවෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි ලබා දීමේ කටයුතු මෙම දෙසැම්බර් 30 වනදා පෙර අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම වන්දි මුදල්, එය ලැබීමට සුදුසුම පිරිස් වෙත ලබා දීම වෙනුවෙන් නිවැරදි දත්ත වෙන් කර හඳුනා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මීට පෙර රටේ සහල් අතිරික්තයක් තිබෙන බවට අදාළ ආයතන දත්ත ඉදිරිපත් කළද සහල් හිඟයකට මුහුණ දීමට සිදුවු අන්දමද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් පවතින බාධාවන් ඉවත් කර එම ජනතාවට කඩිනමින් ජල සැපයූම ලබා දීමට උපදෙස් දුන් ජනපති නුර විදුලිය, ජලය හෝ සන්නිවේදනය ආදී ඕනෑම පහසුකමක් ජනතාවට සැපයීමේදී තම තොරතුරු ප්‍රධාන කාර්යාලයට යවා නිහඩව සිටීමෙන් ඵලක් නොවන අතර ඊට අදාළ ආයතන සමග නිරන්තර සම්බන්ධතාවයෙන් තම සේවාව කඩිනමින් ජනතාවට ලබා දීමට කැපවීම නිලධාරීන්ගේ වගකීම බව ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය.
-
ජනපති, අටමස්ථානාධිපති හිමියෝ බැහැදකි
ජනාධිපති අනුර පසුගිය 07 වැනිදා පෙරවරුවේ අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය. පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා උන්වහන්සේ දැනුවත් කළේය.
-
මහ කන්නය සඳහා අනුරාධපුර ගොවි ජනතාව සූදානම් කරන්න

එදිනම පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ද ජනපතිවරයා සහභාගී වුණේය. ගංවතුර හේතුවෙන් විනාශ වී ගිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව මහ කන්නයේදී යළි අස්වැද්දීමට කඩිනමින් සූදානම් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජාතික අවශ්‍යතාවක් සේ සලකා අදාළ සියලු ආයතන ඒ වෙනුවෙන් මනා සම්බන්ධීකරණයකින් යුතුව කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ගොවීන්ට කඩිනමින් වන්දි මුදල් ලබා දීමට සහ තාවකාලික පිළිසකර කිරීම් මගින් අවශ්‍ය වාරි ජල සැපුම ලබා දීමටද අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය. වගා හානි වෙනුවෙන් මෙරට ඉතිහාසයේ ලබා දුන් වැඩිම වන්දි මුදල් ලබා දෙමින් රජය අපේක්ෂා කරන්නේ යළි වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීම බව ද ජනාධිපතිවරයා කීවේය. ජනතාවට සහන සැලසීමේදී මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයේදී රාජ්‍ය නිලධාරීන්, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සිදු කරන කාර්යභාරය වෙනුවෙන් ස්තූතිය පළ කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.
-
අනවසර ඉදිකිරීම් වැළැක්වීමට අවශ්‍ය නීති ශක්තිමත් කරනවා

එදිනම පස්වරුවෙ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වූ ජනපතිවරයා ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන අතර, ඊට අදාළ නීති ද ශක්තිමත් කරන බව අවධාරණය කළේය.
ස්ථාපිත කිරීමට නියමිත යළි ගොඩනැගීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ නීතිමය ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ යටතේ මෙම ගැටලුව සඳහා ස්ථීර විසදුම් සෙවීමට හැකිවනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ආපදා තත්ත්වය හේතුවෙන් බිද වැටුණු දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම, ජල සැපයුම සහ සන්නිවේදන පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී වෙන් වෙන්ව විමසා බැලූ ජනාධිපතිවරයා අවසාන පාරිභෝගිකයා දක්වා එම සේවාවන් ලබා දීම සේවා සපයන ආයතනවල වගකීම බවත් අදාළ ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් පවතින බාධා ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.
-
ප්‍රදේශයේ ජනතාව භාවිතා කරන වතු ආශ්රිත මාර්ග රජයට පවරාගෙන සංවර්ධනය කරන්න
මේ අතර ජනපති අනුර පසුගිය 08 වැනිදා පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වුණේය.
නාය යාම් ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 19,780කට අයත් පුද්ගලයෝ 63,121ක් පීඩාවට පත්ව සිටිති. ඔවුන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම මෙන්ම, දිස්ත්‍රික්කයේ විදුලි සහ ජල සැපයුම, සන්නිවේදනය, වාරිමාර්ග ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු විමසීය.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර, පසුගිය වසර 05 තුළ විශ්‍රාම ගිය නිලධාරීන් ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමටත්, ඒ පිළිබඳ තොරතුරු කඩිනමින් ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. නිවාස අහිමි වූ ජනතාවට වන්දි ලබා දීම සහ යළි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ අතර ජන ජිවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන අතරම රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දීර්ඝකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
-
වැඩ බලන අගවිනිසුරු දිවුරුම් දෙයි
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විදේශගත වීම හේතුවෙන් වැඩ බලන අගවිනිසුරුවරයෙකු පත් කිරීමට ජනපති අනුර පසුගිය 08 වැනිදා පියවර ගත්තේය. ඒ අනුව වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර ඉදිරියේ දිවුරුම් දුන්නේය.
-
රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීමයි

ජනපති අනුර 08 වැනිදා පස්වරුවේ ඌව පළාත් පුස්ථකාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වුණේය. රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීම බවත්, ජනතාව යළි පදිංචි කිරීම්වලදී නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති අනුර මෙහිදී නිලධාරීන් හමුවේ අවධාරණය කළේය.
යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම වසරට අදාළව රජය ලබාදී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් අදාළ සියලු ප්‍රතිසංස්කරණ මෙම දෙසැම්බර් 31දාට පෙර නිම කරන ලෙසත්, එම ප්‍රතිපාදන කිසිසේත් ආපසු හරවා එවීමට කටයුතු නොකරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
ජනතාවට සහන සැලසීමේදී සහ ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් ප්‍රතිපාදනවල කිසිදු හිඟයක් නොමැති අතර අවශ්‍යව ඇත්තේ මෙම හදිසි අවස්ථාවේ සීමා නොසළකා මනා සම්බන්ධීකරණයෙන් සියලු ආයතන තම වගකීම ඉටුකිරීම බවද ජනාධිපතිවරයා පැවසුවේය.
ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලටද පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබා දෙන රුපියල් 25,000ක දීමනාව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට පියවර ගන්නා බවත්, ඒ පිළිබඳව මෙම සතියේ කැබිනට් තීරණයකට එළඹීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
විනාශ වූ සහ හානි සිදු වූ නිවාසවලට වන්දි ලබා දීම සහ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර කඳවුරුවල ජීවත්වන ජනතාවගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
-
ආපදාවෙන් පීඩාවට පත් නුවරඑළිය සහ බදුල්ල ජනතාවගේ තොරතුරු විමසයි

ආපදාවෙන් පීඩාවට පත් ජනතාව රැඳී සිටින නුවරඑළිය Cinecitta ශාලාවේ පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත (08 දා) ද ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවගේ තොරතුරු විමසූ අතර අනතුරුව, රේන්දපොළ ප්‍රදේශයේ සංචාරය කරමින් ජනතාව හමු වූ ජනාධිපතිවරයා, විනාශ වී ගිය මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳවද සොයා බැලුවේය.
- ජනාධිපති අනර ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තූති කරයි
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ විනාශයෙන් පසු ගංවතුර සහන ආධාර සහ හදිසි ආධාර සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තූති කිරීමට ජනාධිපති අනුර 09 වැනිදා X හි විශේෂ සටහනක් තිබුවේය.
“අවශ්‍යතාවයකදී නැවතත් අප සමඟ සිටීම ගැන ඇමරිකා එක්සත් ජනපදයට සහ ජනාධිපති @realDonaldTrump මහතාට මගේ ගැඹුරු කෘතඥතාව පළ කරමි. වේගවත් C-130 යානා යෙදවීම් සහ ක්ෂණික ඇමරිකානු ඩොලර් මිලියන 2 ක හදිසි ආධාර, බෙදාගත් ප්රජාතන්ත්රවාදී වටිනාකම් තුළ ස්ථිරව මුල් බැසගත් අපගේ කල් පවතින හවුල්කාරිත්වයේ ශක්තිය සහ අපගේ ජනතාව අතර සමීප සබඳතා පිළිබිඹු කරයි,” ජනපති අනුර X හි සටහන් කළේය.
-
ජනපති Newsweek සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවක

පසුගිය 08වැනිදා දා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී Newsweek සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වුණේය. මෙම සංවාදයකදී, ජනාධිපති අනුර විනාශකාරී සුළි කුණාටුවකින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන යථාර්ථයන් පැහැදිලි කළේය.
දේශගුණික විපත්වලින් නැවත ගොඩනැගෙන අතරතුර ණය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවන බව ජනාධිපති වරයා පැවසූ අතර, දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටවල් සඳහා ණය තිරසාර රාමු වෙනස් විය යුත්තේ මේ නිසා බව අවධාරණය කළේය.
“අපි ඓතිහාසික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් අවසන් කළා, නමුත් තවත් ව්‍යසනයකට මුහුණ දුන්නා, දිට්වා සුළි කුණාටුව. මූලික ඇස්තමේන්තුවලින් පෙනී යන්නේ අපේ රට විඳදරාගත් ඕනෑම ස්වාභාවික විපතකට වඩා හානිය වැඩි විය හැකි බවයි,” ජනාධිපතිවරයා නිව්ස්වීක් සමඟ පැවසුවේය.
භූ දේශපාලනික සබඳතා සම්බන්ධයෙන් ජනපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාව ප්‍රධාන හවුල්කරුවන් සමඟ වැඩ කිරීමට ස්වාධීනත්වය රඳවා ගන්නා නමුත් එම සබඳතා තුලනය කිරීමේ ක්‍රියාවක් ලෙස සකස් නොකරන බවයි. ඉන්දියාව සමඟ රටේ සබඳතා ගැඹුරු හා ඓතිහාසික බවත්, චීනය උපායමාර්ගික ආර්ථික හවුල්කරුවෙකු ලෙස පවතින බවත්, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළ බවත් ජනපති අනුර පැවසුවේය.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2025 දෙසැම්බර් 14 වැනි දින ප්‍රකාශයට පත් වූ ලිපියකි
















