මේ රාජ්‍ය නායයෝ ටික හැමදේටම ඇඟිලි ගහනවා – ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  • දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මුළු රටම එක පෙළකට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ විපතට පත් ජනතාව වෙනුවෙන් මොනවද කරමින් ඉන්නේ ?

අපේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහ අපි මේ වන විට ආපදාවෙන් වැඩිම හානියකට මුහුණ දුන් මහ නුවර දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට ගියා. නාමල් රාජපක්ෂ ‘ආදරය’ වැඩසටහන ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ හරහා මේ වන විට දහස් ගණනක් පාසල් ළමුන්ට උපකාර කරලා තිබෙනවා.

  • විපතට පත් ජනතාව අතරට යන විට ඔබ මොනව ද දැක්කේ ?, සහන කටයුතු හරියට කෙරෙනවාද ?

විපතට පත් ජනතාව අතරට ගියවිට අපට තේරුණු දෙයක් තමයි ආපදාවට පත් ජනතාවට නිසි පරිදි සහන සලසන්න රාජ්‍ය යාන්ත්‍රණය කිසිම ආකාරයකින් බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා, ඇමැතිවරු පාර්ලිමේන්තුවේ දී අරක දෙනවා, මේක දෙනවා, ලක්ෂ පනහක් දෙනවා, 25,000ක් දෙනවා, 50,000ක් දෙනවා කියලා කිව්වට බිම් මට්ටමේ දී ඒවා ක්‍රියාත්මක නොවන බව අපි දැක්කා.

  • ඔබ දකින ආකාරයට මේ ආපදාවට වගකිව යුත්තේ කවුද ?. සජබය කියන ආකාරයට ජනාධිපතිවරයා ද , එහෙම නැතිනම් ආණ්ඩුව කියන ආකාරයට විපක්ෂය ද ?

මේ ආපදාවෙන් අපේ දේපොළ සීයට සීයක් ආරක්ෂා කර ගන්න නොහැකි වෙන්න පුළුවන්. නමුත් මේ ආපදාවෙන් රටේ ජනතාවගේ ජීවිත මීට වැඩිය බේරා ගැනීමේ හැකියාව තිබුණා. එදා ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග ගත්ත නම් මෙච්චර මරණ සංඛ්‍යාවක් සිදු නොවීමේ හැකියාව තිබුණා. අපි දැක්කා 11 වැනිදා, 12 වැනිදා 24 වැනිදා දක්වා මාධ්‍යවල විවිධාකාර අනතුරු ඇඟයීම් කරනවා. ඒ වගේම බීබීසීය ඇතුළු පිළිගත් ජාත්‍යන්තර මාධ්‍ය, ඉන්දීය මාධ්‍ය දිගින් දිගටම සුළි කුණාටුව ගැන අනතුරු ඇඟයීම් කළා.  නමුත් මේ ආණ්ඩුව ඒ කිසිවක් ගණන් ගත්තේ නැහැ. නමුත් පාර්ලිමේන්තුව ඇතුළේදී ආණ්ඩුවම පිළිගන්නවා 25 වැනි දා උදේ 10 වන විට එතුමන්ලට සුළි සුළඟ පිළිබඳ නිල නිවේදනය ලැබුණා කියලා. හැබැයි එහෙම නිල නිවේදනය ලැබිලා තිබියදීත් ආපදා කළමනාකරණ අමාත්‍යවරයා එදා දවසෙවත්, එහෙම නැතිනම් 26 වැනිදාවත්, 27 වැනිදා දක්වා කිසිම අවස්ථාවක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් හමුු වුණේ නැහැ, ආපදා කළමනාකරණ කමිටු හමු වුණේ නැහැ. 27 වැනිදා ජීවිත 37ක් නැති වෙලා, නාය ගිහිල්ලා, ගංවතුරුත් ගැලුවට පස්සේ තමයි ජනාධිපතිවයාට මතක් වෙන්නේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තියෙන්නේ රටේ ජනාධිපතිවරයා වන තමා යටතේ කියලා. 27 වැනිදා වන විට මේ තරම් විනාශයක් සිද්ධ වෙන තුරු ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මේ කිසිවක් ගැන අවධානය යොමු කළේ නැහැ. ජනාධිපතිවරයා මේ කිසිවක් නොකළ එකේ ප්‍රතිවිපාකවලට තමයි අද මේ ජනතාවට මුහුණ දීමට සිදුවෙලා තියෙන්නේ.

  • ඔබ ඔබ දැඩිව චෝදනා කරන්නේ ආණ්ඩුව අදාළ අනතුරු ඇයීම් ජනතාවට නිකුත් කළේ නැහැ කියන එක ද ?

ඔව්, මට මේ දැනුත් නායයෑම් ගැන රතු නිවේදන නිකුත් කළා කියලා නිවුස් ඇලර්ට් එනවා. අද මෙහෙම කරන්න පුළුවන් නම් ඇයි ඒක එදා 25 වැනිදට කලින් කළේ නැත්තේ ?, 25 වැනිදා උදේ 10ට ආණ්ඩුවට මේ නිල නිවේදනය නිල වශයෙන් ලැබුණ නම් ඇයි ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ?, අද ඒක කරන්න පුළුවන් නම් එදා ඒක කරන්න බැරි වුණේ ඇයි ?. අපි මේ ජලාශවල වාන් දොරටු අරිනවා, වහාම ඉවත් වෙන්න, නායයෑමේ අවදානමක්, ගංවතුර අවදානමක් තිබෙනවා, වහාම ආරක්ෂිත ස්ථානවලට යන්න කියලා ඇයි එදා කියන්න නොහැකි වුණේ. අද කියන්න පුළුවන් කෙනාට ඇයි 25 බැරි වුණේ ?, ඇයි 26 වැනිදා කියන්න බැරි වුණේ ?. ඒක කරන්න මතක් වුණේ 27 වැනිදා ජීවිත නැති වුණාට පස්සෙද කියලා ජනාධිපතිවරයා ද ඇතුළු මේ ආණ්ඩුවෙන් අහන්න අපි කැමතියි. අද මේ ජීවිතවලට රුපියල් මිලියනයක් දුන්නා කියලා දරුවට අම්මා ගේනන් බැහැ, රුපියල් මිලියනයක් දුන්නා කියලා දරුවට තාත්තා ගේනන් බැහැ. සල්ලිවලට ජීවිත ගේන්න බැහැ. ඒ නිසයි අපි කියන්නේ අහිමි වුණ මේ සියලුම මිනිස් ජීවිතවල වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි. අද රතු නිවේදන එවන්න පුළුවන් ආණ්ඩුවට එදා කිසිම ක්‍රියාමාර්ගක් ගන්න නොහැකි වුණා.

  • ජනාධිපතිතුමා විපතට පත් ජනතාවට සහතිකයක් දුන්නා නේද ඔවුන් හිටිය තත්ත්යට වඩා යහපත් තත්ත්වයක් උදා කරනවා කියලා. මේක ගැන ඔබ මොකද හිතන්නේ ?

අපි පසුගිය දා නුවරඑළියට ගියා, කොත්මලයට ගියා, කොටගලට ගියා, වටවලට ගියා. අපි මේ ගිය හැම තැනම විශේෂ කාරණයක් දැක්කා, ඒ කාරණය තමයි ආපදාවට ලක් වෙලා, නායයෑමට මුහුණ දීලා, ගංවතුරට මුහුණ දීලා ඔවුන් ගිහිල්ලා පාසලේ නතර වෙලා ඉන්නවා, එහෙම නැතිනම් ළඟම තියෙන පන්සලේ නැවතිලා ඉන්නවා. නමුත් මේ වන විට පාසල් වල නැවතිලා ඉන්න අයට ඒවායින් වහාම ඉවත් වෙන්න කියලා රජයේ නිලධාරීන් කියනවා. ඔවුන් කියන ලබන 16 වැනිදා පාසල් පටන් ගත යුතුයි, ඒ නිසා පාසල් වලින් කඩිනමින් ඉවත් විය යුතුයි කියලා. දැන් කොහොමද මේ අය ඉවත් වෙන්නේ. රජයෙන් කියනවා අපි රුපියල් 25,000ක් දෙනවා වහාම තමන්ගේ නිවාසවලට යන්න කියලා. නමුත් ආණ්ඩුව රුපියල් 25,000ක් දුන්න පළියට ඔවුන්ට ගෙවල් හොයා ගන්න පුළුවන් ද ?, එහෙම නැතිනම් රුපියල් 50,000ක් දුන්න පළියට ගෙවල් හොයා ගන්න පුළුවන්ද ?, තමන්ගේ දදරුවා ඉස්කොලේ යවන්න පුළුවන් දුරකින් ගෙයක් හොයා ගන්න පුළුවන්ද ?. එහෙම පුළුවන් අය රුපියල් 25,000 ගනී. නමුත් බැරි අය අදත් පාසල්වල අසරණ වෙලා ඉන්නවා.

ඔවුන් වෙනුවෙන් ඉඩමක් අරං තාවකාලික නිවාස ඉදිකළා නම් ඔවුන්ට ස්ථිර නිවසක් සොයා ගන්නකම් අර තාවකාලික නිවසේ ඉන්න පුළුවන්කම තිබුණා. නමුත් ආණ්ඩුවට එහෙම වැඩපිළිවෙළක් නැහැ. තාවකාලික නිවාස හදන්න වැඩපිළිවෙළක් නැහැ. ඒ වගේම තමයි අපි ජනාධිපතිවරයාට මතක් කරන්න කැමැතියි, ඔබතුමා කිව්ව ආකාරයකටම අවදානම් කලාපවල ඉන්න ජනතාව ඉවත් වෙන්න කැමතියි. නමුත් ඒ ජනතාවටත් අද රජය කියනවා ආපසු ගෙවල් වලට යන්න කියලා. මිනිස්සු කියනවා, ‘නෑ අපි මෙතන ඉන්නම්, අපිට ඉඩමක් දෙන්න, අපට ගෙයක් හදලා දෙන්න, අපේ මුදල් ටික දෙන්න අපි ඉන්නම්’ කියලා. හැබැයි රජයෙන් ගිහින් කියනවා, ‘නැහැ .. නැහැ ඔයාලා යන්න’ කියලා.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කියනවා ඉඩමට ලක්ෂ පනහයි, ගෙදරට ලක්ෂ පනහයි කියලා. හැබැයි මේක බිම් මට්ටමට ගියහම ඉඩමට ලක්ෂ පනහත් නෑ, ගෙදරට ලක්ෂ පනහත් නෑ, පරණ තැනටම යන්න කියනවා. ජනාධිපතිතුමා සහ රජය කියන්නේ දෙකක් ද ? කියලා අපි දැන ගන්න කැමතියි.

  • නමුත් ජනාධිපතිවරයා පසුගිය දිනවල විපතට පත් ප්‍රදේශවල සම්බන්ධීකරණ රැස්වීම් ගණනාවකට සහභාගී වුණා නේද ?. එහිදී ජනාධිපතිවරයා මේ තත්ත්වය දැන ගන්නේ නැද්ද ?

නැහැ, ජනාධිපතිවරයා එන බව ඔහුගේ පක්ෂය ජනතාවට දැනුම් දෙන්නේ නැහැ. මාළිමාවේ, ජවිපෙ කල්ලියක් තමයි එතුමා ව‌ටේ ඉන්නේ, රැස්වීම් ශාලාවේ වාඩි කරලා තියෙන්නේ. ඔවුන් ජනාධිපතිතුමාව අන්දනවා. ජනාධිපතිතුමා මේ කතා අහලා ගෙදර යනවා. නමුත් ඇත්ත තත්ත්වය මේක නෙමෙයි, සුභසාධන කඳවුරුවල තත්ත්වේ මේක නෙමෙයි. අපි කියන්නේ, ජනාධිපතිතුමනි, ඔබතුමා ම මේ කඳවුරුවලට යන්න, ගිහින් ඇත්ත දැකබලා ගන්න. එහෙම කළොත් ඔබතුමාට ඇත්තම තත්ත්වය දැකබලා ගන්න පුළුවන් වෙයි. මේ ජනතාව අවදානම් කලාපවලින් ඉවත් වෙන්න සූදානම්.  හැබැයි ඔවුන් ඉවත් කරන්න දැන් ඔබතුමාලා සූදානම් නැහැ. දැන් රජයට සල්ලි දෙන්න සිදුවෙන නිසා අවදානම් කලාපවල ජනතාව ඉවත් කරන්න ආණ්ඩුව සූදානම් නැහැ.

  • ඔබ කියන ආකාරයට මේක ගැටලුවක් නම් ඒක විසඳ ගන්න ඔබගේ පක්ෂය කරන ඔබලාගේ යෝජනාව කුමක් ද ?

අපි පැහැදිලිව කියන්නේ අවදානම් කලාපවල ඉන්න ජනතාව පදිංචි කිරීමට සුදුසු ඉඩම් තෝරා ගන්නා තෙක් ඔවුන් වෙනුවෙන් තාවකාලික නිවාස ඉදිකළ යුතුයි. එසේ නොමැති නම් ජම් ජනතාවට පදිංචියට සුදුසු නිවසක් සොයා ගන්නා තෙක් රුපියල් 25,000 ලබාදිය යුතුයි.  ඒකත් කරන්න බැරිනම් ජනාධිපතිතුමා කිව්වා වාගේ ඉඩමට දෙන ලක්ෂ පනහයි, නිවසට දෙන්න ලක්ෂ පනහයි එකතු කරලා ඒ් කෝටියම පදිංචියට සුදුසු නිවසක් මිලදී ගන්න කියලා ලබා දෙන්න. එහෙම කළොත් ඉතාම පහසුවෙන් හා කඩිනමින් මේ ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. නමුත් මේ කිසිම දෙයක් මේ දක්වා බිම් මට්ටමේ නම් සිද්ධ වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා දෙනවා කිව්ව රුපියල් කෝටිය බේර ගන්න දැන් ජනතාවට අවදානම් කලාපවල නිවාස වලටම යන්න කියනවා.

  • මේ තත්ත්වය තුළ රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් ඇත්තේම නැද්ද ?

අපි විශේෂයෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට කියන්න කැමතියි, ඔබතුමන්ලා මේ වාර්තා නිකුත් කරද්දී ඔබතුමන්ලට මේ වාර්තාවල වගකීම ගන්න සිද්ධ වෙනවා. ඔබ අතින් යම්කිසි වරදක් සිදු වුණොත් ඒ වගකීම ඔබට ගන්න වෙනවා. අපි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට අවධාරණය කරනවා, ඔබතුමන්ලා නිවැරදි නිරීක්ෂණ කරන්න, එසේ නොකර ජනතාවගේ ජීවිත අනතුරේ හෙළන්න එපා කියලා අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

  • ජවිපෙ බිම් මට්ටමේ නායකයෝ ආපදා සහන කටයුතුවලට මැදිහත් වන බවට චෝදනාවක් තිබෙනවා නේද ?

ඔව්, මේ රාජ්‍ය නායයෝ ටික හැමදේටම ඇඟිලි ගහනවා. ග්‍රාම නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න දෙන්නේ නැහැ. සමහර රාජ්‍ය නායකයෝ කෑම පාර්සල් ටික අත හපා කාලා අරන් යනවා. මේ රාජ්‍ය නායකයෝ රජයේ නිලධාරීන්ට නිසි ක්‍රමවේදයට වැඩ කරන්න මේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. හැම දේටම ඇඟිලි ගහනවා.

රතුඉර පුවත්පතේ 2025 දෙසැම්බර් 14 දින ප්‍රකාශයට පත් වූ ලිපියකි

සටහන – භාතිය බරුකන්ද

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website