පවතින ආපදා තත්ත්වයෙන් පසුව මතුවිය හැකි බෝවන රෝග පිළිබඳව ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා අවධාරණය කරයි.
මෙවැනි තත්ත්වයක් තුළ ඔබ විසින් පහත දැක්වෙන සෞඛ්‍ය හා සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතු බව ද ලියනපතිරණ මහතා පවසයි.
ජලය සහ සනීපාරක්ෂාව
- ජල පරිභෝජනය: උණු කර නිවාගත් ජලය පානය කිරීම ඉතා වැදගත් වේ.
- ළිං පිරිසිදු කිරීම: ගංවතුරින් උතුරා ගිය ළිං නැවත භාවිතයට පෙර නිසි ලෙස පිරිසිදු කර, ක්ලෝරීනකරණය කර විෂබීජහරණය කිරීම අනිවාර්ය වේ.
ආහාර මගින් බෝවන රෝග
- ආහාර සකස් කිරීම: පිරිසිදුව ආහාර පිසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
- ආහාර විෂ වීම් වැළැක්වීම: පිසූ වේලාවේ සිට පැය 4ක කාලයක් ඇතුළත ආහාර අනුභවය සුදුසුය. ආහාර අනුභවයට පෙර හොඳින් දෑත් සේදීම අත්‍යවශ්‍ය වේ.
රෝගීන්: යම් පාචන රෝගී තත්ත්වයක් පවතින අයෙකු ආහාර පිසීමේ ක්‍රියාවලියෙන් ඉවත්විය යුතුය.
මී උණ (Leptospirosis) වැළැක්වීම
- අවදානම් පරිසරය: ජලය රැඳී තිබීම සහ මඩ තිබීම මී උණ රෝගය පැතිරවීමට සුදුසු පරිසර තත්ත්වයකි.
- රෝගය බෝවීම: මීයන්ගේ පමණක් නොව, බල්ලන්ගේ, හරකුන්ගේ සහ ඌරන්ගේ මුත්‍රාවලින් වුවද ජලය අපවිත්‍ර විය හැකි අතර, අපගේ ශරීරයේ කැපුම්, සීරීම්, හෝ තුවාලවලින් රෝගය ඇතුළු විය හැකිය.
- ප්‍රතිකාර: සියලුම ගංවතුරට නිරාවරණය වූ පුද්ගලයින් සඳහා ලබා දීමට ඩොක්සිසයික්ලයින් (Doxycycline) නැමති ඖෂධය බෙදා හැර ඇත.
- මාත්‍රාව: මිලිග්‍රෑම් 200ක් වහාම ලබා ගත යුතුය.
දිගටම ලබාගැනීම: සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු හෝ නිවස ජලයෙන් යට වී තිබේ නම්, දිගටම සතියක් පාසා මෙම මාත්‍රාව ලබා ගත යුතු බව වෛද්‍ය ලියනපතිරණ මහතා සඳහන් කළේය













