හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍ර යේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2026 වසර තුළ දිවයින පුරා ප්‍රධාන රෝහල් රැසක අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක් (Cath Lab – Cardiac Catheterization Laboratory) ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3103ක මුදලක් වැය කිරීමට නියමිතය.
මෙම අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්වල මෙන්ම මඩකළපුව, රත්නපුර, බදුල්ල, යාපනය, කලුබෝවිල, අනුරාධපුර, කුරුණෑගල ශික්ෂණ රෝහල් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මඩකළපුව, රත්නපුර සහ බදුල්ල ශික්ෂණ රෝහල්වලට මෙන්ම ගාල්ල ජාතික රෝහලට යන්ත්‍ර 4ක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 715ක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.
ආසියානු සංවර්ධන බැංකුව යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් කොළඹ ජාතික රෝහලට යන්ත්‍ර 3ක් සහ මහනුවර ජාතික රෝහල, යාපනය හා කලුබෝවිල ශික්ෂණ රෝහල් සඳහා යන්ත්‍රය බැගින් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 1188ක් වැය කිරීමට නියමිතය.
එමෙන්ම ජයිකා ආධාර යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට යන්ත්‍ර 2ක් සහ කුරුණෑගල, බදුල්ල, මහනුවර හා ත්‍රිකුණාමලය රෝහල් සඳහා යන්ත්‍රය බැගින් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 1200ක් වැය වේ.
මේ වන විට කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්වලට අමතරව යාපනය, කුරුණෑගල, රාගම, කලුතර, අනුරාධපුර සහ රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් කිහිපයක මෙම සේවාවන් ක්‍රියාත්මක වේ.
නව යන්ත්‍ර 16 ස්ථාපිත කිරීමෙන් පසු රජයේ රෝහල් පද්ධතිය තුළ ඇති හෘද කැතීටකරණ යන්ත්‍ර සංඛ්‍යාව 26 දක්වා ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය මඟින් හෘද රෝගීන්ට කාර්යක්ෂම හා ගුණාත්මක ප්‍රතිකාර සේවාවන් ලබාදීම, ප්‍රතිකාර සඳහා පවතින පොරොත්තු ලේඛන අවම කිරීම, හෘද රෝග හේතුවෙන් සිදුවන මරණ හා සංකූලතා අවම කිරීම සහ පැය 24 පුරා හෘද ප්‍රතිකාර සේවා සැපයීම වැනි අරමුණු ඉටු කිරීමට හැකිවනු ඇත.
හෘද කැතීටකරණ යන්ත්‍ර යනු හෘද රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන අතිනවීන වෛද්‍ය තාක්ෂණික පද්ධතියකි. කිරීටක ධමනි පරීක්ෂා කිරීම සඳහා ඇන්ජියෝග්‍රෑම් සිදු කිරීම, බ්ලොක් ඉවත් කර ස්ටෙන්ට් ස්ථාපිත කිරීම, පේස්මේකර් වැනි උපකරණ බද්ධ කිරීම ඇතුළු ප්‍රතිකාර රැසක් මෙම යන්ත්‍ර මඟින් සිදු කෙරේ.
















