
සංචාරක ශ්‍රී ලංකා පිල හා පාකිස්තානය අතර රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11) පැවැති පළමු එක්දින තරගයෙන් පාකිස්තාන පිල ලකුණු 6ක තියුණු ජයක් ලබා ගත්තේය. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ 1-0ක් ලෙස පාකිස්තානය පෙරමුණට පැමිණ සිටී.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළ අතර, සල්මන් ආගාගේ ශතකය සහ හුසේන් තලාත්ගේ මංගල එක්දින අර්ධ ශතකය හේතුවෙන්, පාකිස්තාන ඉනිම පණ ගැන්වී, කඩුලු 5කට ලකුණු 299ක් රැස් කිරීමට සමත් විය. ජයග්‍රහණය හඹාගිය ශ්‍රී ලංකා පිල කඩුලු 9ක් දැවී ලකුණු 293කට සීමා විය.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අවසන් මොහොත දක්වා සටනක නිරත වුවද ලකුණු 59කට දැවී යෑමෙන් තරගය ගිලිහී ගියේය. වනිදුගේ 5 වැනි එක්දින ශතකය මෙය වූ අතර, හෙතෙම පන්දු 52කදී හතරේ පහර 7ක් සමඟ ආකර්ශනීය ලෙස ලකුණු 59ක් ලබා ගත්තේය. මහීෂ් තීක්ෂණ පන්දු 18කදී හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 21ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.
ජයග්‍රාහී පාකිස්තාන පිලේ පස්වන කඩුල්ල සඳහා සල්මන් ආගා හා හුසේන් තලාත් යන මැද පෙළ පිතිකරුවන් දෙදෙනාගේ ලකුණු 138ක සබඳතාව තරගයේ හැරවුම් ලක්ඹයක් වූ අතර, පාකිස්තාන පිල අවසන් ඕවර 10 තුළ ලකුණු 104ක් ලබා ගැනීමට සමත්වීම ද ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් එල්ලවීමට ප්‍රධාන සාධකයක් විය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක හා කමිල් මිෂාර පළමු ඕවර් 10 තුලදී ලකුණු 75ක් ලබා ගැනීමට සමත් වූ අතර, වේග පන්දු යවන හරිස් රාවුෆ් පි පිට කඩුලු 2ක් බිදහෙලීමෙන් කමීල් මිෂාර ලකුණු 38දී හා කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම දැවි ගියහ. කමිල් මිෂාර පන්දු 36කදී හයේ පහරක් හා හතරේ පහර 5ක් එල්ල කළ අතර මෙන්ඩිස් පළමු පන්දුවේදීම දැවී ගියේය. පැතුම් නිශ්ශංක පන්දු 39කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 29ත් ලබා සිටියදී හැරිස් තම තෙවැනි කඩුල්ල ලෙස දවා ගත්තේය.
කෙසේ වුවද නායක චරිත් අසලංකා හා සදීර සමරවික්‍රම එක්ව සිව්වැනි කඩුල්ලට පන්දු 80කදී ලකුණු 57ක සබඳතාවක් ගොඩනැගූ අතර සමරවික්‍රම ලකුණු 39කට දැවී ගිය අතර, 6 වැනි කඩුල්ලට චරිත් හා ජනිග් ලියනගේ පන්දු 32කදී ලකුණු 36ක් එක් කිරීමට සමත් විය. අසලංක ලකුණු 32ක් ලබා සිටියදී දැවීගොස් ලකුණු 8ක් වෙද්දී ජනිත් ලියනගේ ලකුණු 28කට දැවී යෑමෙන් ශ්‍රී ලංකා ඉනිමේ වේගය අඩාල විය.
පාකිස්තාන ඉනිමේ 24 වන ඕවරයේදී පාකිස්තාන පිල කඩුලු 4 කට ලකුණු 95ක් ලබා සිටි අතර, සල්මන් – හුසේන් සම්බන්ධතාවය අවසන් වන විට, 44 වන ඕවරයේ පාකිස්තානය කඩුලු 5 කට ලකුණු 233ක් දක්වා ඉදිරියට ගොස් තිබුණි. හුසේන් තලාත් පන්දු 63කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 62ක් ලබා ගැනීමට සමත් විය.
ඉන්පසු ආගා හා මොහොමඩ් නවාස් එක්ව අවසන් ඕවර් දහය තුල වේගය වැඩි කිරීම කැලී ලෙණුන අතර, සල්මන් ආගා ඔහුගේ දෙවන එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 87කදී හතරේ පහර 9ක් සමඟ නොදැවී ලකුණු 105ක් පාකිස්තාන ඉනිමට එක් කළේය. නවාස් පන්දු 23කදී නොදැවී ලකුණු 36ක් ලබා ගනිමින් 6 වැනි කඩුල්ලට සල්මන් ආගා සමඟ එක්ව පන්දු 40කදී නොබිඳුණු ලකුණු 66ක සම්බන්ධතාවයක් ගොඩ නැගූහ.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් පළමු පවර් ප්ලේ ඕවර් 10 තුලදී මනා පාලනයකින් ක්‍රීඩා කළ අතර, පාකිස්තානයට ලබාගත හැකි වූයේ කඩුල්ලක් බිද වැටී ලකුණු 28ක් පමණි. වනිඳු හසරංග කඩුලු 3ක් බිඳහෙළූ අතර, අසිත ප්‍රනාන්දු හා මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් බිදහෙලා ගත්හ.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි එක්දින තරගය මේ 13 වැනිදා රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
පාකිස්තාන පිල කඩුලු 5 කට ලකුණු 299 (ඕවර් 50)
ෆකර් සමාන් 32, සායිම් අයුබ් 6, බාබර් අසාම් 29, මොහොමඩ් රිස්වාන් 5, සල්මන් අගා නොදැවී 105, හුසේන් තලාත් 62, මොහොමඩ් නවාස් නොදැවී 36, අතිරේක 24 ( වනිඳු හසරංග 54/3, අසිත ප්‍රනාන්දු 42/1, මහීෂ් තීක්ෂණ 64/1)
ශ්‍රී ලංකා පිල කඩුලු 9 කට ලකුණු 293 (ඕවර් 50)
පැතුම් නිශ්ශංක 29, කමීල් මිෂාර 38, කුසල් මෙන්ඩිස් 00, සදීර සමරවික්‍රම 39, චරිත් අසලංක 32, ජනිත් ලියනගේ 28, කමිඳු මෙන්ඩිස් 9, වනිඳු හසරංග 59, දුෂ්මන්ත චමීර 9, මහීෂ් තීක්ෂණ නොදැවී 21, අසිත ප්‍රනාන්දු නොදැවී 00, අතිරේක 31 (නසීම් ෂා 55/2, හරිස් රාවුෆ් 61/4, ෆාහිම් අෂ්රෆ් 49/2, මොහොමඩ් නවාස් 48/1)
මූලාශ්‍රය – ශ්‍රී ලංකා













