වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අද කටාර් දේශයට
ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන නැගීඑන තරු අතර ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම නම් කර තිබෙන අතර එහි නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේව පත් කිරීමට උපුල් තරංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
නොවැම්බර් මස 14 වැනිදා සිට 23 වැනිදා දක්වා කටාර් රාජ්‍යෙය් දෝහා අග නුවරදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා නම් කර තිබෙන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ. නම් කරන ලද ක්‍රීඩකයින් අතර පළපුරුදු ක්‍රීඩකයින්ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. ඒ අතර ටෙස්ට් තරග 16 කට සහභාගිව ඇති රමේෂ් මෙන්ඩිස් සහ ටෙස්ට් තරග 10 කට ක්‍රීඩා කර ඇති නිශාන් මදුෂ්කද ඇතුළත්ව සිටිති.
කණ්ඩායම් නායකයාට අමතරව නම් කර ඇති කණ්ඩායමට ටෙස්ට් වරම් දිනා සිටින අනෙක් එකම ක්‍රීඩකයා වන්නේ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක පමණි. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 5 කට ක්‍රීඩා කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනූ ක්‍රීඩකයින් වන ප්‍ර මෝද් මදුෂාන්, නුවනිඳු ප්‍රනාන්දු සහ සහන් ආරච්චිගේද කණ්ඩායමට එක් කොට තිබේ. මේ අතරින් ප්‍රමෝද් මදුෂාන් මේ දිනවල පාකිස්තානයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර, ඔහු එම තරගාවලිය අවසන් කොට කටාර් රාජ්‍යයට පැමිණීමට නියමිතය.
මීට අමතරව විස්සයි-20 තරග අංශයේදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ලසිත් කෘෘස්පුල්ලේ සහ විජයකාන්ත් වියස්කාන්ත නම් කර ඇති කණ්ඩායමට ඇතුළත්ව සිටිති. මොවුන්ට අමතරව කණ්ඩායමට නම් කොට ඇති සෙසු ක්‍රීඩකයින් සියලු දෙනාම මීට පෙර ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් නියෝජනය කර ඇති අත්දැකීම්වලින් සපිරි ක්‍රීඩකයෝ වෙති.
කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වය කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාව ‘බී‘ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං රාජ්‍ය මූලික වටයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටිති. ‘ඒ‘ කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන කණ්ඩායම් තරග වදිති. ශ්‍රී ලංකාව සිය පළමු සටන නොවැම්බර් මස 15 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව ආරම්භ කරනු ඇත.
ඒ අනුව මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තමන් නියෝජනය කරනු ලබන කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වලට එරෙහිව ලීග් ක්‍රමයට අනුවතරග වදිනු ලබන අතර තරගාවලිය ආරම්භ වන නොවැම්බර් 14 වැනිදා සිට 19 වැනිදා දක්වා සෑම දිනකම තරග 2 බැගින් පැවැත්වෙනු ඇත. තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර වන අවසන් පූර්ව තරග 21 වැනිදා ද අවසන් මහ තරගය 23 වැනිදාද පැවැත්වෙනු ඇත. තරගාවලියේ සියලුම තරග දෝහා අගනුවර වෙස්ට් එන්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
තරගාවලි ඉතිහාසය පිරික්සීමේදී නැගීඑන කණ්ඩායම් අතර තරගාවලි ආරම්භය 2013 වසර දක්වා ආපස්සට විහිදී තිබේ. ආසියානු කළාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවල් අතර ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව දෙවතාවකදී නැගීඑන ශූරයින් ලෙසින් කිරුළ දිනා ගැනීමට සමත්ව සිටියි.
2013 වසරේදී පළමුවෙන්ම සිංග්පූරුවේදී පවත්වන ලද මෙම සමාරම්භක තරගාවලියේදී ඉන්දියාව විසින් පාකිස්තානු පිලට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කරමින් මංගල ශූරතාව ඉන්දියාවට රැගෙන යෑමට සමත්විය. අනතුරුව මෙම තරගාවලිය බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් 2017 වසරේ පැවැති අතර එහිදී පළමු වතාවට ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම එහි ශූරතාව දිනා ගත්තේය. එම අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 5 කින් පරාජයට පත් වූයේ එහි මංගල තරගාවලියේ අනුශූරයින් බවට පත් වුණු පාකිස්තානු කණ්ඩායමයි.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව විසින් පළමු වතාවට සත්කාරකත්වය දරන ලද්දේ 2018 වසරේදී වන අතර එම තරගාවලියේදීද ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් එහි ශූරයින් බවට කිරුළු පැළඳූහ. ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කරමින් සම්මු අශාන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත්විය. එම කණ්ඩායමට වර්තමාන ජාතික කණ්ඩායමේ සිටින කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග ක්‍රීඩා කළහ.
අවසන් වතාවට ඉකුත් 2024 වසරේ පැවැති මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමත්විය. එම අවසන් මහ තරගයේදී ඔවුන් අතින් කඩුලු 7 කින් පරාජයට පත්වූයේ පාකිස්තානු කණ්ඩායම වේ.
මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘නැගීඑන ’ඒ‘ කණ්ඩායම අද (නොවැම්බර් 12 වැනිදා) පස්වරුවේදී කටාර් රාජ්‍යය බලා පිටත්ව යනු ඇත.
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල – දුනිත් වෙල්ලාලගේ (නායක), රමේෂ් මෙන්ඩිස්, නිශාන් මදුෂ්ක, මිලාන් රත්නායක, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, ලසිත් කෘෘස්පුල්ලේ, විජයකාන්ත් වියස්කාන්ත්, විශේන් හැළඹගේ, සොහාන් ද ලිවේරා, අහන් වික්‍රමසිංහ, ගරුක සංකෙත්, ට්‍රෙවීන් මැතිව්, ඉසිත විජේසුන්දර, ප්‍රමෝද් මදුෂාන්.
තරග කාල සටහන
- නොවැම්බර් 14 – ඕමානය සහ පාකිස්තානය අතර
- නොවැම්බර් 14 – ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර
- නොවැම්බර් 15 – බංග්ලාදේශය සහ හොංකොං රාජ්‍යය අතර
- නොවැම්බර් 15 – ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර
- නොවැම්බර් 16 – ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර
- නොවැම්බර් 16 – ඉන්දියාව සහ පාකිස්තානය අතර
- නොවැම්බර් 17 – හොංකොං රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර
- නොවැම්බර් 17 – ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර
- නොවැම්බර් 18 – පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර
- නොවැම්බර් 18 – ඉන්දියාව සහ ඕමානය අතර
- නොවැම්බර් 19 – ඇෆ්ගනිස්තානය සහ හොංකොං රාජ්‍යය අතර
- නොවැම්බර් 19 – බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර
- නොවැම්බර් 21 – පළමු අවසන් පූර්ව තරගය
- නොවැම්බර් 21 – දෙවැනි අවසන් පූර්ව තරගය
- නොවැම්බර් 23 – අවසන් මහ තරගය













