සෞඛ්‍ය ඇමැති නලින්දගෙන් ලාදුරු තර්ජනය ගැන බිහිසුණු හෙළිදරව්වක්
වැඩිම රෝගීන් කොළඹ දිස්ත්‍රික්කයෙන්
1995 වසරේදී ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන අයුරින් ලාදුරු රෝගය තුරන් කර දැමුව ද, එම ගමන තවමත් අවසන් වී නොමැති අතර නව රෝගීන් අඛණ්ඩව හමුවෙමින් පවතින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව, වසරකට ලාදුරු රෝගීන් 1500 – 2000ක් පමණ අලුතින් හඳුනා ගැනෙන බවත්, ඔවුන්ගෙන් 10%ක් පමණ වයස අවුරුදු 10ට අඩු කුඩා දරුවන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව වසර 2035 වන විට ශ්‍රී ලංකාව ලාදුරුවලින් තොර රටක් බවට පත් කිරීමට වත්මන් රජය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවත්, රෝගය පැතිර යාමට හේතු වන රෝගින් කල්තියා හඳුනා ගැනීම, රෝහල් පද්ධතිය මගින් රෝගින්ට ලබා දෙන ප්‍රතිකාර සහ පහසුකම් වැඩිදියුණු කිරිම, ආබාධිත තත්ත්වයට පත් වූවන් වෙනුවෙන් විධිමත් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය සිදු කෙරෙන බවත්, මෙම සමුළුව මගින් ලාදුරු රෝගය පැතිර යාමට තිත තැබීමේ ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් වනු ඇතැ’යි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ අතර අලුතෙන් හඳුනා ගන්නා ලාදුරු රෝගීන්ගෙන් 40%ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත්, වැඩිම ලාදුරු රෝගින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, පිළිවෙළින්, මඩකලපුව, ගම්පහ, කුරුණෑගල සහ කළුතර දිස්ත්‍රික්කවලින්ද රෝගීන් සැලකිය යුතු ප්‍රමාණවලින් වාර්තා වන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ සසකාවා පදනමේ සහයෝගීතා දායකත්වයෙන් පසුගිය 06 වැනි දින කොළඹදී සංවිධානය කර තිබූ ජාතික ලාදුරු සමුළුවේ සමාරම්භ අවස්ථාවට එක් වෙමිනි.











