ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්කේ සුළි සුළඟක් නිර්මාණය වීමේ අවදානමක් – දිස්ත්‍රික්කට රැසක තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (14) දින ප.ව. 2.00 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.

ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද උදෑසන වන විට මඩකලපුව සිට කි.මී. 650 ක් පමණ දුරින්, නැගෙනහිර දෙසින් ස්ථානගත වී තිබුණි. තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට දින (නොවැම්බර් 15) වන විට ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට දිනයේදී දිවයින පුරා අහස වළාකුලින් බරව පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර සහ වයඹ පළාත් වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල විටින් විට වැසි ඇති වේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. ඌව සහ මධ්‍යම පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website