එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
ස්වාභාවික ආපදා අතරින් මිනිස් ජීවිත, දේපළ, ආර්ථිකය සහ පරිසර පද්ධති කෙරෙහි බරපතළ බලපෑම් ඇති කළ හැකි ප්‍රබල කාලගුණික සංසිද්ධියක් ලෙස නිවර්තන සුළිකුණාටු (Tropical Cyclones) හැඳින්විය හැකිය. විශේෂයෙන්ම නිවර්තන සාගර ආශ්රිත රටවලට තර්ජනයක් වන මෙම කාලගුණික පද්ධති, අධික වේගයෙන් හමන සුළං, ධාරානිපාත වර්ෂාව, කුණාටු රළ, වෙරළබඩ ප්‍රදේශ ජලයෙන් යටවීම, ගංවතුර සහ නායයෑම් වැනි ආපදා රැසකට හේතුකාරක වේ.
ඉන්දියානු සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව ද නිවර්තන සුළිකුණාටු අවදානමට මුහුණ දෙන රටකි. විශේෂයෙන්ම බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වන සුළිකුණාටු හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට තද සුළං, අධික වර්ෂාපතනය, ගංවතුර, නායයෑම් සහ වෙරළබඩ ජල ගැලීම් වැනි බලපෑම් ඇතිවිය හැකිය. එවැනි සුළිකුණාටුවකින් සිදුවන හානියේ ප්‍රමාණය එහි ප්‍රබලත්වය පමණක් නොව, බලපෑමට ලක්වන ප්‍රදේශවල භූගෝලීය ස්වභාවය, ජනාවාස පිහිටීම සහ ජනතාවගේ ආපදා සූදානම මත ද තීරණය වේ. එබැවින් මෙම අවදානම නිවැරදිව හඳුනාගෙන, ඊට මුහුණදීම සඳහා විධිමත් ජාතික සූදානමක් ඇති කරගැනීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වේ.
නිවර්තන සුළිකුණාටු
උණුසුම් නිවර්තන හෝ උපනිවර්තන සාගර ප්‍රදේශයක් ආශ්‍රිතව වර්ධනය වන, මධ්‍යයේ අඩු වායු පීඩනයක් සහිතව භ්‍රමණය වන ප්‍රබල කාලගුණික පද්ධතියක් නිවර්තන සුළිකුණාටුවක් ලෙස හැඳින්වේ. ලෝකයේ විවිධ සාගර කලාපවලදී මෙම පද්ධති විවිධ නම්වලින් හඳුන්වනු ලැබේ. උතුරු අත්ලාන්තික් සහ ඇතැම් පැසිෆික් සාගර ප්‍රදේශවලදී Hurricane ලෙසත්, වයඹදිග පැසිෆික් කලාපයේදී Typhoon ලෙසත්, ඉන්දියානු සාගර කලාපයේදී Cyclone ලෙසත් ඒවා හැඳින්වේ.
සුළිකුණාටු නිර්මාණය වීම සඳහා සාගර මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 26.5 ක් හෝ ඊට වැඩි වීම හිතකර තත්ත්වයකි. උණුසුම් සාගර ජලයෙන් වාෂ්පීකරණය වන ජල වාෂ්ප සහිත වාතය ඉහළට නැඟී සිසිල් වීමේදී ඝනීභවනය වී වලාකුළු හා වර්ෂාපතනය ඇති කරයි. එම ක්‍රියාවලියේදී නිදහස් වන ගුප්ත තාපය (Latent Heat) සුළිකුණාටුවේ වර්ධනයට ශක්තිය සපයයි.
එහෙත් උණුසුම් සාගරයක් පැවතීම පමණක් සුළිකුණාටුවක් නිර්මාණය වීමට ප්‍රමාණවත් නොවේ. වායුගෝලීය තෙතමනය, පෘථිවියේ භ්‍රමණය හේතුවෙන් ඇතිවන කොරියෝලිස් බලපෑම (Coriolis Effect) සහ විවිධ උස මට්ටම්වල සුළං වේගයේ හා දිශාවේ වෙනස්වීම් ද එහි වර්ධනයට බලපායි. විශේෂයෙන්ම ප්‍රබල සිරස් සුළං විභේදනය (Vertical Wind Shear) සුළිකුණාටුවක සංවිධානාත්මක වර්ධනය අඩාල කළ හැකිය.
ආරම්භයේදී අඩු පීඩන කැළඹීමක් ලෙස පවතින පද්ධතියක් ක්‍රමයෙන් වර්ධනය වී නිවර්තන අවපාතයක් (Tropical Depression) බවට පත්වන අතර, සුළං වේගය වැඩිවීමත් සමඟ නිවර්තන කුණාටුවක් බවට වර්ධනය විය හැකිය. හොඳින් වර්ධනය වූ සුළිකුණාටුවක මධ්‍යයේ සාපේක්ෂව අඩු සුළං සහිත ඇස (Eye), එය ඇස වටා පිහිටි ප්‍රබල සුළං වළල්ල (Eyewall) සහ පිටතට විහිදෙන සර්පිලාකාර වර්ෂා තීරු (Spiral Rainbands) හඳුනාගත හැකිය.
මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ සුළිකුණාටුවක මධ්‍යය ගමන් කරන ප්‍රදේශයට පමණක් එහි බලපෑම් සීමා නොවීමයි. එහි පිටත වර්ෂා තීරය සහ ආශ්රිත කාලගුණික පද්ධති මඟින් ද සැලකිය යුතු දුරකට අධික වර්ෂාව සහ තද සුළං ඇති කළ හැකිය.
කෙසේ වුවද, ටෝනාඩෝවක් නිවර්තන සුළිකුණාටුවක් සමඟ පටලවා නොගත යුතුය. ටෝනාඩෝවක් සාමාන්‍යයෙන් ගිගුරුම් සහිත වැසි ඇති කරන ගිගුරුම් සහිත වැසි ඇති කරන සමුච්චිත වලාකුළකින් (Cumulonimbus Cloud) පහළට විහිදෙන, වේගයෙන් භ්‍රමණය වන වායු තීරුවකි. එය සාපේක්ෂව කුඩා භූගෝලීය ප්‍රදේශයකට සීමා වන අතර, නිවර්තන සුළිකුණාටුවක් ඊට වෙනස්ව විශාල සාගර හා ගොඩබිම් ප්‍රදේශයක් පුරා බලපෑම් ඇති කළ හැකි කාලගුණික පද්ධතියක් ලෙස හඳුනාගත හැකිය.
නම් තැබීම
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මඟපෙන්වීම යටතේ, ලෝකයේ විවිධ සාගර කලාපවල ඇතිවන නිවර්තන සුළිකුණාටු නම් කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. ඒ අනුව, එක් එක් සාගර කලාපයට අයත් රටවල් විසින් ඉදිරිපත් කරනු ලබන නම් ඇතුළත් ලැයිස්තු, අදාළ කලාපීය සුළිකුණාටු කමිටු මඟින් සකස් කරනු ලැබේ. එම ලැයිස්තුවල නම්, සුළිකුණාටු ඇතිවන අනුපිළිවෙළ අනුව භාවිතයට ගැනේ. නම් තෝරාගැනීමේදී ඒවා කෙටි වීම, පහසුවෙන් උච්චාරණය කළ හැකි වීම සහ ජනතාවට පහසුවෙන් මතක තබාගත හැකි වීම වැනි කරුණු සැලකිල්ලට ගනු ලබයි. මෙසේ සුළිකුණාටුවලට නම් ලබාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ ඒවා පිළිබඳ අනතුරු ඇඟවීම් ජනතාව වෙත පැහැදිලිව හා කඩිනමින් සන්නිවේදනය කිරීමත්, එක් එක් සුළිකුණාටුව පහසුවෙන් හඳුනාගැනීමට හැකිවීමත් ය. විශේෂයෙන්, උතුරු ඉන්දියානු සාගර කලාපයේ සුළිකුණාටුවක් සඳහා වරක් භාවිත කළ නමක් නැවත භාවිත නොකෙරේ.

සුළිකුණාටු අවදානම
විශේෂයෙන්ම බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වන සුළිකුණාටුවල බලපෑමට ලක්වීමේ අවදානමක් උතුරු ඉන්දියානු සාගරයේ පිහිටි ශ්‍රී ලංකාවට පවතී. අරාබි මුහුද ආශ්‍රිතව ඇතිවන ඇතැම් පද්ධතිවලින් ද මෙරටට බලපෑම් ඇතිවිය හැකිය. විශේෂයෙන්ම බෙංගාල බොක්කේ දකුණු ප්‍රදේශවල නිර්මාණය වී බටහිර හෝ වයඹ දෙසට ගමන් කරන සුළිකුණාටු ශ්‍රී ලංකාවේ උතුරු, නැගෙනහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවලට බලපෑම් ඇති කළ හැකිය. බෙංගාල බොක්ක ආශ්රිත සුළිකුණාටු ක්‍රියාකාරීත්වය සාමාන්‍යයෙන් අප්‍රේල්-මැයි සහ ඔක්තෝබර්-නොවැම්බර් කාලවලදී ඉහළ යයි. එහෙත් එම මාසවලට පමණක් අවදානම සීමා නොවන බැවින් වසර පුරාම කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානයෙන් සිටීම ඉතා වැදගත් වේ.
පූර්ව අත්දැකීම්
1964 දෙසැම්බර් මාසයේ 22 වැනිදා ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට, ත්‍රිකුණාමලයට උතුරින් බලපෑවේය. දෙසැම්බර් 23 වැනිදා එය ඉන්දියානු වෙරළට ළඟා විය. එම සුළිකුණාටුවේ උපරිම සුළං වේගය පැයට කිලෝමීටර් 215-240 අතර වූ බව වාර්තා වේ. එමෙන්ම 1978 නොවැම්බර් මාසයේ 24 වැනිදා මඩකලපුව ආසන්නයෙන් ගොඩබිමට ඇතුළු වූ සුළිකුණාටුව ද ශ්‍රී ලංකාවට බලපෑ තවත් විනාශකාරී සිදුවීමකි. එහි උපරිම සුළං වේගය පැයට කිලෝමීටර් 222 ක් පමණ වූ බව ඇස්තමේන්තු කර තිබේ. එම අවස්ථාවේදී, කල්කුඩා ප්‍රදේශයේ මුහුදු ජලය කිලෝමීටර් 1.5 ක් පමණ ගොඩබිම තුළට ඇතුළු වූ බව වාර්තා වේ. මේ අතර 1992 නොවැම්බර් මාසයේ 12 වැනිදා මෙරටට බලපෑ සුළිකුණාටුවෙන් එම සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනකු මියගොස් නිවාස ඒකක 29,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවූ බව වාර්තා වේ. 2000 දෙසැම්බර් මාසයේ 26 වනදා ඇති වූ සුළිකුණාටුවෙන් ද, පුද්ගලයන් අටදෙනෙකු මියගොස් දේපළ රැසකට හානි සිදුව තිබේ. එමෙන්ම, 2008 නොවැම්බර් මාසයේ 25 වනදා උතුරු පළාතට ඇතුළුවූ නිෂා Nisha සුළිකුණාටුව ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට බලපෑ අතර, පසුව නොවැම්බර් 26 වැනිදා ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරය හරහා ගමන් කළේය. ශ්‍රී ලංකාවේ මරණ 15 ක් වාර්තා වූයේ සුළිකුණාටුව ආශ්රිත අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙනි. මේ අතර 2025 නොවැම්බර් 28 වන දින ඩිට්වා Ditwah සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු විය. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක 25 පුරාම ඉන් පීඩාවට පත් ජනතාව මිලියන 2.2 ක් පමණ බවත්, 2025 දෙසැම්බර් 29 වනදා වන විට මරණ 646 ක් හා අතුරුදහන් පුද්ගලයන් 173 ක් වාර්තා වූ බවත් සඳහන් වේ. නිවාස සහ ප්‍රධාන යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුවීම හේතුවෙන් පුද්ගලයින් 233,000 කට ආසන්න සංඛ්‍යාවක් අවතැන්ව තිබේ. මෙහිදී නිවාස 565 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් නිවාස 20,000 කට අධික සංඛ්‍යාවකට අර්ධ වශයෙන් හානි සිදුවී ඇත. මෙම ඓතිහාසික සිදුවීම්වලින් පැහැදිලි වන්නේ, සුළිකුණාටුවක හා එහි ආශ්රිත කාලගුණික පද්ධති මඟින් රට තුළ බරපතළ ආපදා හා ව්‍යසන ඇති කළ හැකි ආකාරයේ ස්වරූපයයි.

කුණාටු රළ සහ වෙරළබඩ ප්‍රජාව
ශ්‍රී ලංකාවේ වෙරළබඩ ආපදා අවදානම පිළිබඳ සාකච්ඡා කිරීමේදී කුණාටු රළ (Storm Surge) පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතුය. නිවර්තන සුළිකුණාටුවක ප්‍රබල සුළං මගින් මුහුදු ජලය වෙරළ දෙසට තල්ලු කිරීමත්, කුණාටුවේ මධ්‍යයේ පවතින අඩු වායුගෝලීය පීඩනයත් හේතුවෙන් සාමාන්‍ය මුහුදු මට්ටමට වඩා ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාම කුණාටු රළ ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය සාමාන්‍ය වඩදිය සමඟ සමපාත වුවහොත් වෙරළබඩ ප්‍රදේශවල ජල ගැලීම් හා ගංවතුර තත්ත්වයන් තවදුරටත් දරුණු විය හැකිය.
කුණාටු රළ සහ සුනාමි (Tsunami) අතර වෙනස නිවැරදිව අවබෝධ කරගැනීම ද වැදගත්ය. මෙම සංසිද්ධි දෙකම වෙරළබඩ ප්‍රදේශවලට බරපතළ හානි සිදු කළ හැකි වුවද, ඒවා ඇතිවීමට බලපාන හේතු එකිනෙකට වෙනස් වේ. මුහුදු පත්ලේ සිදුවන ප්‍රබල භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් හෝ දිය යට නායයෑම් වැනි භූභෞතික කැළඹීම් හේතුවෙන් විශාල ජල ස්කන්ධයක් හදිසියේ විස්ථාපනය වීමෙන් සුනාමි හටගනී. ගැඹුරු මුහුදේදී සුනාමි තරංගවල උස සාපේක්ෂව අඩු වුවද, වෙරළබඩ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට ළඟා වන විට ඒවායේ උස සැලකිය යුතු ලෙස ඉහළ ගොස් විශාල භූමි ප්‍රදේශ ජලයෙන් යට කිරීමට හා බරපතළ විනාශයක් සිදු කිරීමට සමත් වේ. ඒ අනුව, සුනාමි භූභෞතික කැළඹීම්වල ප්‍රතිඵලයක් වන අතර, කුණාටු රළ කාලගුණික තත්ත්වයන්ගේ බලපෑමෙන් ඇතිවන වෙනස් ස්වභාවයක ආපදා තත්ත්වයකි.
ශ්‍රී ලංකාවේ උතුරු හා වයඹ වෙරළබඩ ප්‍රදේශවල කුණාටු රළ අවදානම පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත්ය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි නොගැඹුරු මුහුදු ප්‍රදේශය, මුහුදු පත්ලේ ස්වභාවය සහ වෙරළ තීරයේ භූගෝලීය හැඩය වැනි සාධක ද ඇතැම් කුණාටු තත්ත්වයන් යටතේ කුණාටු රළවල බලපෑම තීව්ර කිරීමට හේතු විය හැකිය. කෙසේ වෙතත්, එවැනි අවදානමක ප්‍රමාණය කුණාටුවේ ගමන් මාර්ගය, සුළං දිශාව හා වේගය, වඩදිය තත්ත්වය සහ අදාළ වෙරළබඩ ප්‍රදේශයේ භූගෝලීය ලක්ෂණ අනුව වෙනස් වේ.
කෙසේ වුවද, 2004 දෙසැම්බර් 26 දින සිදුවූ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු අත්දැකීම වෙරළබඩ ප්රජාවන්ගේ ආරක්ෂාව සහ ආපදා සූදානම පිළිබඳ ජාතික අවධානය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අපට පෙන්වා දෙයි. සුනාමි සහ කුණාටු රළ ඇතිවීමට බලපාන හේතු හා ඒවායේ ස්වභාවය වෙනස් බැවින්, එම අත්දැකීමෙන් අවධාරණය වන්නේ, එක් එක් ආපදා තත්ත්වයේ ස්වභාවයට අනුව අවදානම් තක්සේරු කිරීම, පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සහ ජනතාව දැනුවත් කිරීම සිදු කළ යුතු බවයි.
පූර්ව අනතුරු ඇඟවීම් සහ අභියෝග
නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟ චන්ද්‍රිකා ඡායාරූප, කාලගුණ රේඩාර්, සාගර නිරීක්ෂණ පද්ධති සහ සංඛ්‍යාත්මක කාලගුණ අනාවැකි ආකෘති භාවිතයෙන් සුළිකුණාටුවක ගමන් මාර්ගය, සුළං වේගය සහ වර්ෂාපතන රටාව පිළිබඳ අනාවැකි ලබාගැනීමට හැකි වී තිබේ. එහෙත් කාලගුණ පද්ධති නිරන්තරයෙන් වෙනස් වන බැවින් අනාවැකි සහ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමත්, ඒවා පිළිබඳ මහජනතාව අවධානයෙන් සිටීමත් අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ ආයතන නිකුත් කරන නිල නිවේදන හා උපදෙස් අනුව ජනතාව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ යටතේ අවදානම් සහිත පහත් බිම් හා වෙරළබඩ ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම, ගංවතුර හා නායයෑම් අවදානම් ප්‍රදේශවලට පූර්ව අනතුරු ඇඟවීම, ධීවර හා නාවික කටයුතු සම්බන්ධයෙන් නිසි උපදෙස් නිකුත් කිරීම මෙන්ම හදිසි සහන සේවා කඩිනමින් සූදානම් කිරීම, මූලික ආපදා කළමනාකරණ ක්‍රියාමාර්ග වේ.
කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, ඒවා නිසි වේලාවට නිවැරදිව ජනතාව වෙත ළඟා වීම සහ ජනතාවට ඒවා අවබෝධ කරගැනීමට හැකි වීම ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම වෙරළබඩ, පහත්බිම් සහ නායයෑම් අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙනුවෙන් පැහැදිලි හා කාලෝචිත සන්නිවේදන ක්‍රමවේදයක් පවත්වාගෙන යා යුතුය. එසේම, නිල අනතුරු ඇඟවීම් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම, ආරක්ෂිත ස්ථාන පිළිබඳ දැනුවත් වීම, හදිසි අවස්ථාවක දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පුහුණුවීම්වලට සහභාගී වෙමින් අනවශ්‍ය අවදානම් ගැනීමෙන් වැළකීම සෑම පුරවැසියකුගේම වගකීමකි.
එමෙන්ම නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේදී සුළං සහ ගංවතුර අවදානම සැලකිල්ලට ගැනීම, ස්වාභාවික ජල මාර්ග අවහිර නොකිරීම, ප්‍රමාණවත් ජලාපවහන පද්ධති පවත්වාගෙන යෑම සහ වෙරළබඩ පරිසර පද්ධති සංරක්ෂණය කිරීම ද ආපදා අවදානම අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.
ජාතික වගකීම
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයක් හමුවේ සුළිකුණාටුවක බලපෑම මෙන්ම එමගින් අතිකරන වර්ෂාපතනය, ගංවතුර, නායයෑම් සහ කුණාටු රළ පිළිබඳව අපගේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. එහෙයින් ශ්‍රී ලංකාවේ සුළිකුණාටු අවදානම පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ තවදුරටත් පුළුල් කිරීම ජාතික ප්‍රමුඛතාවක් විය යුතුය. අතීතයේ සිදුවූ සුළිකුණාටු පිළිබඳව රැස්කර ඇති දත්ත, නවීන පරිගණක වැඩසටහන් ඔස්සේ ආකෘතිකරණයකර, විශ්ලේෂණය කිරීමෙන් අනාගත අවදානම් වඩාත් නිවැරදිව තක්සේරු කිරීමට හැකි වනු ඇත. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම්, පර්යේෂණ කටයුතු අරභයා සහාය සහ ආයතනික සම්බන්ධීකරණය පුළුළ් කිරීම රජයේ වගකීමයි.
එසේම ප්‍රදේශ අනුව සුළිකුණාටු, ගංවතුර, නායයෑම් සහ කුණාටු රළ අවදානම් සිතියම් සකස් කිරීමත්, ඒවා සංවර්ධන සැලසුම්කරණයේ දී, භාවිත කිරීමත් වැදගත් වේ. විශේෂයෙන්ම වෙරළබඩ හා කදුකර ප්‍රදේශවල ජනාවාස හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ දී ඒ ඔස්සේ අවදානම් පිළිබඳ නිසි ඇගයීමක් පහසුවෙන් කළ හැකිවේ.
මෙම කාර්යය රජයේ ආයතනවලට පමණක් සීමා කළ නොහැකිය. විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, ප්‍රාදේශීය පලාත් පාලන ආයතන, පෞද්ගලික ඉදිකිරීම් අංශය සහ ප්‍රාදේශීය ප්‍රජාවන් අතර සහයෝගීතාවක් ගොඩනැඟීම ද වැදගත් අවශ්‍යතාවයක් වනු ඇත. විශේෂයෙන්ම මෙහිදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සහභාගිත්වයෙන් ඉටුකරගතහැකි කාර්යභාරය අතිමහත් වේ. ඒ ඔස්සේ නිවැරදි තිරසාර සංවර්ධන සැලසුම් පිළිබඳව විද්‍යාත්මක දැනුම, සහ සාමූහික සූදානම ජනතාවගේ සිත් තුලට පහසුවෙන් ප්‍රවේශ කිරීමට විශාල ඉඩ ප්‍රස්ථාවක් පවතී.
කෙසේ වුවද, නිවර්තන සුළිකුණාටු අවදානම හමුවේ අපගේ මූලික වගකීම විය යුත්තේ ආපදාවක් සිදු වූ පසු ඊට ප්‍රතිචාර දැක්වීම පමණක් නොව, එවැනි ව්‍යසනයන්ගෙන් සිදුවිය හැකි හානි කල්තියා අවම කර ගැනීමට අවශ්‍ය විද්‍යාත්මක, තාක්ෂණික, ආයතනික සහ සමාජීය පදනම ශක්තිමත් කිරීමයි. ඒ සඳහා අවදානම් කල්තියා හඳුනා ගැනීම, විශ්වාසදායක පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම, ජනතාව දැනුවත් කිරීම සහ ආපදා කළමනාකරණයට වගකිවයුතු රාජ්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන අතර, එවැනි සාමූහික සූදානමක් තුළින් ජීවිත හා දේපළ හානි අවම කරමින් අනාගත පරපුරට වඩාත් සුරක්ෂිත රටක් උරුම කර දීම රජයේ මෙන්ම සෑම පුරවැසියකුගේම සාමූහික වගකීමකි.

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
ආශ්රිත මූලාශ්‍ර:
World Meteorological Organization (WMO), Tropical Cyclones.
https://wmo.int/themes/tropical-cyclone
World Meteorological Organization (WMO), Classification of Tropical Cyclones.
https://wmo.int/content/classification-of-tropical-cyclones
Disaster Management Centre / UNDP, Hazard Profiles of Sri Lanka – Tropical Cyclones, Chapters 08 and 09.
India Meteorological Department, Regional Specialized Meteorological Centre, New Delhi, Classification of Cyclonic Disturbances over the North Indian Ocean. https://rsmcnewdelhi.imd.gov.in/
National Oceanic and Atmospheric Administration (NOAA), National Ocean Service. What is Storm Surge?
https://oceanservice.noaa.gov/facts/stormsurge-stormtide.html
















