කාලගුණික අවදානමට අප සූදානම් වන්නේ කෙසේද?

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

කාලගුණික විපර්යාස එදිනෙදා ජන ජීවිතයට, මෙන්ම සත්ත්ව ප්‍රජාවට ද සෘජු අභියෝග එල්ල කරන තීරණාත්මක සාධකයක් බව දැන් තහවුරු වී තිබේ. අධික වර්ෂාව, හදිසි ගංවතුර, කඳු නායයෑම්, මඩ නායයෑම්, දීර්ඝ නියඟය සහ තාප තරංග වැනි ආන්තික කාලගුණ තත්ත්ව ආහාර සුරක්ෂිතතාවට, ජල සම්පත්වලට සහ ගෝලීය ආර්ථිකයට ද සැලකිය යුතු ලෙස බලපෑම් කරනු ඇත.

මෝසම් සුළං, සත්ත්ව චර්යාවන් සහ වෙනත් ස්වාභාවික සංසිද්ධි නිරීක්ෂණය කිරීමෙන් කාලගුණ වෙනස්කම් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මිනිස් ප්‍රජාව දුරාතීතයේ සිටම කටයුතු කළහ. එම අත්දැකීම් කෘෂිකාර්මික හා දෛනික කටයුතු සැලසුම් කිරීමට බොහෝ සේ උපකාරී විය. විද්‍යා හා තාක්ෂණික දියුණුවත් සමඟ කාලගුණය හා දේශගුණය කෙරෙහි බලපාන සාගර සහ වායුගෝලීය ක්‍රියාවලීන් වඩාත් පුළුල්ව අධ්‍යයනය කිරීමට මිනිසාට හැකි වී තිබේ. එල් නිනෝ (El Niño) සහ ලා නිනා (La Niña) වැනි සංසිද්ධි විශ්ලේෂණය කිරීමට ඇති හැකියාව එයට උදාහරණයකි.

සමකයට ආසන්න පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට ජලය සාමාන්‍යයට වඩා උණුසුම් වීමත්, ඒ සමඟ ඉහළ වායු සංසරණ රටා වෙනස් වීමත් එල් නිනෝ සංසිද්ධියේ ලක්ෂණ වේ. ඊට ප්‍රතිවිරුද්ධ සාගර-වායුගෝලීය තත්ත්වය ලා නිනා ලෙස හැඳින්වේ. එහිදී සමකය ආශ්‍රිත පැසිෆික් සාගරයේ වෙළඳ සුළං සාමාන්‍යයට වඩා ප්‍රබල වන අතර, මතුපිට උණුසුම් ජලය බටහිර පැසිෆික් කලාපය දෙසට වැඩි වශයෙන් තල්ලුවීයාම සිදුවේ. නැගෙනහිර පැසිෆික් කලාපයේ සිසිල් ගැඹුරු ජලය මතුපිටට නැග ඒම ද වැඩි වේ. මෙම සාගර හා වායුගෝලීය වෙනස්කම් ලෝකයේ විවිධ ප්‍රදේශවල වර්ෂාපතන, උෂ්ණත්ව සහ සුළං රටාවලට බලපෑම් කළ හැකි ය.

එහෙත් එල් නිනෝ තත්ත්වයකදී සෑම රටකම නියඟයක් ඇති වන බවත්, ලා නිනා ඇති වූ විට සෑම රටකම ගංවතුර ඇති වන බවත් නිගමනය කිරීම විද්‍යාත්මකව තාර්කික නොවේ. එබැවින් ගෝලීය දේශගුණික සංසිද්ධියක ප්‍රබලත්වය මත පමණක් පිහිටා ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි ආපදා ස්වරූපයන් ප්‍රකාශ නොකෙරේ. එහි බලපෑම මෙරටට අදාළ වන්නේ කෙසේද යන්න තක්සේරු කිරීමේදී තත්කාලීනව මෙරටට ආසන්න කලාපයේ කාලගුණ නිරීක්ෂණ දත්ත ද සැලකිල්ලට ගනු ඇත.

පුරෝකථන සහ අවදානම් සංඥා

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2026 ඔක්තෝබර් 06 දින නිකුත් කළ එල් නිනෝ සහ ඉන්දියානු සාගර ද්විධ්‍රැවීයතාව පිළිබඳ වාර්තාව අනුව, 2026 ඔක්තෝබර්-දෙසැම්බර් සිට 2027 ජනවාරි කාලය දක්වා ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් උදාවීමේ සම්භාවිතාව සියයට 90 ඉක්මවයි. එම වාර්තාවට අනුව, 1950 සිට වාර්තා වූ පෙර එල් නිනෝ සිදුවීම්වල ප්‍රබලත්වය ඉක්මවා යන ඓතිහාසික සිදුවීමක් 2026 ඔක්තෝබර්-දෙසැම්බර් කාලයේදී ඇතිවීමේ සම්භාවිතාව සියයට 75 ක් බව පැවසේ.

කෙසේ වෙතත්, 2026 ඔක්තෝබර් 12 දිනැති දෙපාර්තමේන්තුවේ යාවත්කාලීන වාර්තාවේ ඔක්තෝබර්-දෙසැම්බර් කාලය සඳහා එම සම්භාවිතාව සියයට 83 ක් ලෙස දක්වා තිබේ. මෙයින් පැහැදිලි වන්නේ ගෝලීය සාගර හා වායුගෝලීය තත්ත්වයන් පිළිබඳ අනාවැකි නව නිරීක්ෂණ දත්ත හා විද්‍යාත්මක ආකෘති අනුව නිරන්තරයෙන් යාවත්කාලීන වන බවයි.

එහෙත් ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇතිවීම හෝ එය සැලකිය යුතු ප්‍රබලත්වයක් කරා ළඟාවීම ශ්‍රී ලංකාවේ නිශ්චිත වූ ප්‍රදේශයක ගංවතුරක්, නායයෑමක් හෝ නියඟයක් අනිවාර්යයෙන් ඇතිවන බවට සහතිකයක් නොවේ. එල් නිනෝ බලපෑමට අමතරව ඉන්දියානු සාගර ද්විධ්‍රැවීයතාව, මෝසම් සුළං, අඩු පීඩන පද්ධති සහ අනෙකුත් වායුගෝලීය වෙනස්කම් ද මෙරට කාලගුණයට බලපෑම ඊට හේතු කාරකව පවතියි.

එහෙත් මෙම පුරෝකථන කාලගුණික අවදානම් පිළිබඳව අවධානයෙන් සිටීමට සහ කල්තියා සූදානම් වීමට කරනු ලබන වැදගත් සංඥාවක් වනු ඇත. ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නවතම අනාවැකි හා නිල අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයෙන් පසුවීමත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සපයන උපදෙස් අනුගමනය කිරීමත් අප හමුවේ ඇති වගකීමකි.

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අනුව, එල් නිනෝ පැවති අතීත වසරවල වර්ෂාපතන දත්ත විශ්ලේෂණය කිරීමේදී ඔක්තෝබර් මාසයේදී රටේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව පෙනේ. නොවැම්බර් මාසයේදී ද බොහෝ ප්‍රදේශවල සාමාන්‍යයට ආසන්න හෝ ඊට මඳක් වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති ආකාරයක් දක්නට ලැබේ. දෙසැම්බර් මාසයේදී උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය හා අනුරාධපුරය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල සාමාන්‍යයට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් දක්නට ලැබී ඇත. මෙම සංඛ්‍යා ලේඛන ඉදිරි වර්ෂා කාලය සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව අපට අවධාරණය කරයි. මක්නිසාදයත්, අධික වර්ෂාවක් ඇති වුවහොත් පහත්බිම් ගංවතුරට යටවීම, කඳුකර ප්‍රදේශවල නායයෑම්, මාර්ග අවහිර වීම, නව ජල මාර්ග නිර්මාණයවීම, නිවාස හා දේපළ විනාශ වීම සහ කෘෂිකාර්මික හා සත්ත්ව නිෂ්පාදන කටයුතු අඩාල වීම වැනි තත්ත්වයන් ඇති විය හැකි ය.

කෙසේ වුවද, එල් නිනෝ බලපෑම ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය තීරණය කරන එක ම සාධකය නොවේ. ඉන්දියානු සාගරයේ (අප්‍රිකාවට ආසන්න) බටහිර කලාපය සහ (ඉන්දුනීසියාව හා ඕස්ට්‍රේලියාවට ආසන්න)නැගෙනහිර කලාපය  අතර මුහුදු මතුපිට උෂ්ණත්වයේ සාපේක්ෂ වෙනස්කම් මත පදනම් වූ ඉන්දියානු සාගර ද්විධ්‍රැවීයතාව (Indian Ocean Dipole) ද මෙරට වර්ෂාපතන රටාවලට බලපෑම් කළ හැකි සාධක වේ. මෝසම් සුළං, වායුගෝලීය කැළඹීම් සහ අඩු පීඩන පද්ධති ද ඊට වැදගත් සාධක වේ. එබැවින් උදාවිය හැකි තත්වයන් යටතේ මෙරට යම් ප්‍රදේශයකට ලැබෙන වර්ෂාපතනයේ ප්‍රමාණය හා කාලය තීරණය වන්නේ මෙකී සාගර හා වායුගෝලීය තත්ත්වයන්ගේ ඒකාබද්ධ බලපෑමෙන් බව නිරීක්ෂණය වේ. මේ නිසා ශ්‍රී ලංකාව සඳහා නිකුත් කරන නිල කාලගුණ අනාවැකි කෙරෙහි අවධානයෙන් පසුවිම හා එකී උපදෙස් අනුගමනය කිරීම වැදගත් වේ.

‍උද්ගතවිය හැකි මෙවන් තත්වයන් යටතේ පූර්ව අනතුරු ඇඟවීම්, ආපදාවලට පෙර සූදානම, ප්‍රජාව දැනුවත් කිරීම, ආරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථාන පිහිටුවීම සහ අවශ්‍ය විට ජනතාව කඩිනමින් ඉවත් කිරීම සම්බන්ධයෙන් චීනයේ හා ජපානයේ ක්‍රමෝපායයන් ශ්‍රී ලංකාවට වැදගත් මාර්ගෝපදේශ සපයා දෙයි. එහෙත් ඒවා එලෙසම මෙරටට ආදේශ කිරීම වෙනුවට, ශ්‍රී ලංකාවට ගැළපෙන පරිදි සහ පවතින සම්පත් අනුව සකස් කරගැනීම වඩාත් යෝග්‍ය වේ. විශේෂයෙන් ගංවතුර හා නායයෑම් අවදානම් ප්‍රදේශවල ජනතාව කලින් දැනුවත් කිරීම, ආරක්ෂිත කලාපවල රැඳවුම් ස්ථාන පිහිටුවීම, අවශ්‍ය විට ඒ වෙත ජනතාව යොමු කිරීමට පහසුකම් සැලසීම සහ ප්‍රාදේශීය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම රජයකට ගතහැකි ප්‍රායෝගික පියවර වේ.

ආපදා අවම කරගැනීම

කාලගුණික විපර්යාස සහ එල් නිනෝ, ලා නිනා වැනි සාගර-වායුගෝලීය සංසිද්ධි හේතුවෙන් ඇතිවන තද වර්ෂාව හෝ දීර්ඝ වියළි කාලගුණය රටක කෘෂිකර්මාන්තයට මෙන් ම, ජාතික ආහාර සුරක්ෂිතතාවට ද දැඩි ලෙස බලපායි. එබැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැනි නිල ආයතන සපයන අනාවැකි හා උපදෙස් පිළිපැදීම, ආපදා හානි අවම කරගැනීමට ලැබෙන වැදගත් ක්‍රමෝපායක් වනු ඇත.

වර්ෂා කාලයේදී ලැබෙන ජලය ටැංකි, ජලාශ සහ වෙනත් ආරක්ෂිත ගබඩා ක්‍රම මගින් රැස්කර තබාගැනීමෙන් වියළි කාලයන්හිදී ගෘහස්ථ හා වගා කටයුතු සඳහා ජල හිඟයකින් තොරව සපයාගත හැකි ය. එමෙන් ම, ප්‍රදේශයේ පස, ජල පහසුකම් සහ අපේක්ෂිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අඩු ජල ප්‍රමාණයක් අවශ්‍ය වන පරිසරයට ගැලපෙන බෝග තෝරාගැනීමත්, වගා කාලසටහන් කල්තියා සැලසුම් කිරීමත් වැදගත් වේ. පසෙහි තෙතමනය රැකගැනීම, ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සහ කාලගුණික තත්ත්වයන්ට අනුව වගා ක්‍රම වෙනස් කිරීම පිළිබඳව අදාළ බලධාරීන් විසින් ගොවීන් දැනුවත් කිරීම ද වගා හානි අවම කරගැනීමට හේතු වේ.

එමෙන් ම දීර්ඝ නියඟයකදී වනෝද්‍යානවල වෙසෙන සතුන්ට ජලය සපයාගැනීමේ අපහසුතා ඇතිවිය හැකි බැවින් එම අවදානම කල්තියා නිරීක්ෂණය කර සුදුසු පියවර ගැනීම ද වැදගත් වේ. අවශ්‍ය අවස්ථාවලදී කෘත්‍රිම ජල මූලාශ්‍ර පිහිටුවීම වැනි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුත්තේ වනජීවී හා පරිසර විශේෂඥයන්ගේ උපදෙස් හා නිරීක්ෂණ මත පමණි. මෙසේ වියළි කාලගුණයක් ඇතිවීමට පෙර සිටම සූදානම් වීමෙන් එහි අහිතකර බලපෑම් යම් ප්‍රමාණයකට අවම කරගත හැකි ය.

අධික වර්ෂාවෙන් ඇතිවිය හැකි ගංවතුර හානි අවම කරගැනීම සඳහා ජලය බැසයන කාණු පද්ධති නිසි පරිදි නඩත්තු කිරීම, තෙත්බිම් ආරක්ෂා කිරීම, වගුරු බිම් ගොඩකිරීමෙන් වැළකීම සහ ඇළ-දොළ හා ගංගා අවහිර නොවන සේ තබාගැනීම අත්‍යවශ්‍ය වේ. එසේම උස්බිම්වල වනාන්තර හා ස්වාභාවික වෘක්ෂලතා ආරක්ෂා කිරීම ද නායයෑම් හා පස් කඩාවැටීම් පාලනයට උපකාරී වේ. කඳුකර ප්‍රදේශවල නායයෑමේ අවදානම් ස්ථාන කල්තියා හඳුනාගැනීම හා අනාරක්ෂිත ඉදිකිරීම් පාලනය කිරීම මෙන්ම කඳුබෑවුම්වල ජලාපවහන පද්ධති හෝ පාංශු ස්ථර රැඳවුම් ව්‍යුහ ඉදිකිරීම සලකා බැලිය හැකිය. එහෙත් එවැනි ඉංජිනේරුමය කටයුතු සිදුකළ යුත්තේ භූ-තාක්ෂණික හා ඉංජිනේරු විශේෂඥයන්ගේ ස්ථානීය ඇගයීම් සහ උපදෙස් මත පමණි.

ආරක්ෂිත පියවර

2004 දෙසැම්බර් මස සිදුවූ සුනාමි ව්‍යසනයේ සිට 2025 වසර අවසානයේ දිවයිනට බලපෑ ආපදා තත්ත්වයන් දක්වා මෙරට සිදුවූ හදිසි ආපදා තත්ත්වයන් අපි නිරන්තරයෙන් සැලකිල්ලට ගත  යුත්තෙමු. එම අත්දැකීම්වලින් අප උගත යුත්තේ කුමක්ද? අධික වර්ෂාව, ගංවතුර හෝ තද සුළං පිළිබඳ නිල අනතුරු ඇඟවීමක් ලැබුණු වහාම ආරක්ෂිත ස්ථාන, ඉවත් විය හැකි මාර්ග සහ හදිසි අවස්ථාවකදී සම්බන්ධ කරගත යුතු පුද්ගලයන් පිළිබඳව කල්තියා දැනුවත්ව සිටීම අපගේ වගකීමකි.  එමෙන්ම, පානීය ජලය, වියළි ආහාර, අත්‍යවශ්‍ය ඖෂධ, විදුලි පන්දම්, අමතර බැටරි සහ ආරෝපිත  ජංගම දුරකථන කල්තියා සූදානම් කර තබාගැනීමේ වැදගත්කම ද එයින් මනාව පැහැදිලි වේ.

විශේෂයෙන් ම, ආපදා පවතින අවස්ථාවලදී ජලයෙන් යට වූ මාර්ග හරහා පයින් ගමන් කිරීමෙන් හෝ වාහන ධාවනයෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතු ය. තව ද, තද සුළං හා අකුණු පවතින විට සුරක්ෂිත ගොඩනැගිල්ලක් තුළ රැඳී සිටීමටත්, නිවසේ විදුලි උපකරණ පරිහරණය තාවකාලිකව නතර කරමින් සිදුවිය හැකි විදුලි අනතුරුවලින් ආරක්ෂා වීමටත් සැමවිටම වගබලා ගත යුතු ය.

මානසික සුවතාව

ආපදා තත්ත්වය පහව ගියද, කඩා වැටුණු ගොඩනැගිලි හෝ බිම වැටී ඇති විදුලි රැහැන් අසලට යාමෙන් වැළකී සිටීම තමාගේ මෙන්ම අන් අයගේද ආරක්ෂාවට හේතු වේ. එමෙන් ම, මෙවැනි හදිසි ආපදාවක් නිසා ප්‍රජාව තුළ ඇතිවිය හැකි බිය, කම්පනය සහ මානසික පීඩනය පිළිබඳව ද අපගේ විශේෂ අවධානය යොමු විය යුතු ය. පවුලේ සාමාජිකයන්, අසල්වැසියන් සහ ප්‍රජා සංවිධාන අතර මනා සහයෝගය හා සම්බන්ධතාව වර්ධනය කරගැනීම ඔස්සේ, මෙවැනි අභියෝගාත්මක අවස්ථාවලදී කඩා වැටෙන මානසිකත්වයට සාර්ථකව මුහුණ දීමේ ශක්තිය හා ධෛර්යය සැමදෙනා තුළම ගොඩනැගිය හැකි ය.

නිවැරදි තොරතුරු

මෙරට ජනතාව ලබා ඇති අත්දැකීම් අනුව, අවශ්‍ය වන්නේ කාලගුණ අනාවැකි නිකුත් කිරීම පමණක් නොව, ඒවා ජනතාවට පහසුවෙන් අවබෝධ කරගෙන ක්‍රියාත්මක කළ හැකි උපදෙස් බවට පත් කිරීමයි. ඒ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම බලධාරීන්, පළාත් පාලන ආයතන සහ ජනමාධ්‍ය අතර සම්බන්ධීකරණය වඩාත් විධිමත් කළ යුතුය. එමඟින් අනතුරු ඇඟවීම් කඩිනමින් ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීමට හැකියාව උදාකරයි. ඒ හේතුවෙන් සමාජ මාධ්‍ය හරහා පැතිරෙන තහවුරු නොකළ තොරතුරු මත තීරණ ගැනීමෙන් වැළකී නිල ආයතන නිකුත් කරන අනාවැකි හා උපදෙස් කෙරෙහි විශ්වාසය තැබීමට ජනතාව යොමුවනු ඇත.

එසේම එවැනි සම්බන්ධීකරණයක් මඟින් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් ඔබ්බට ගොස්, ගොවීන්ට වගා තීරණ ගැනීමටත්, අවදානම් ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවීමටත්, අදාළ ආයතනවලට අවශ්‍ය සම්පත් කල්තියා සූදානම් කිරීමටත් පහසුකම් සැලසිය හැකිය. එනමුත්, කාලගුණික විපර්යාසවල සියලු බලපෑම් වළක්වා ගැනීමට අපට නොහැකි වුවද, නිවැරදි තොරතුරු මත පදනම්ව කාලෝචිතව ක්‍රියා කිරීමෙන් සිදුවිය හැකි බරපතල හානි සැලකිය යුතු ලෙස අවම කරගැනීමට අවස්ථාව උදා වේ.

කෙසේ වුවද, අනතුරු ඇඟවීමක් ඵලදායී වන්නේ එය ජනතාව වෙත කඩිනමින් ළඟා වීමෙන් ම පමණක් නොව, එහි අර්ථය නිවැරදිව වටහාගෙන ඒ අනුව ක්‍රියා කළ විට ය. එබැවින් ආපදාවක් සිදුවන තෙක් බලා සිටිනවා වෙනුවට, අවදානම් කල්තියා හඳුනාගෙන ජීවිත, දේපළ, ආහාර සම්පත් සහ පරිසරය ආරක්ෂා කිරීමට අප සැම සූදානම් විය යුතු ය. එවැනි සූදානම් සමාජයක් ගොඩනැගීම රජයට පමණක් කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, ප්‍රජා සංවිධාන සහ සෑම පුරවැසියකුම තම වගකීම නිසි ලෙස ඉටු කළ යුතු ය.

(මූලාශ්‍ර: meteo.gov.lk, oceanservice.noaa.gov සහ www.undrr.org)

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website