International E-Waste Day: ජාත්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය දිනය 14 වැනිදා දී විශේෂ වැඩසටහනක්

ඔක්තෝබර් 14 වනදාට යෙදෙන ජාත්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය දිනයට (International E-Waste Day) සමගාමීව 2050 ශුන්‍ය කාබන් (Net Zero Carbon) ඉලක්කය සහ හරිත ආර්ථික දැක්ම පෙරදැරි කරගනිමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් අද (12) පරිසර අමාත්‍යාංශයේ දී විශේෂ ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් පැවැත්විණ.

මෙහි දී ජාතික මට්ටමේ ප්‍රමුඛ පියවර කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවිය.

• නීතිමය හා ප්‍රතිපත්තිමය රාමුව ශක්තිමත් කිරීම: පරිසර පනත යටතේ හඳුන්වා දීමට නියමිත ‘පුළුල් කරන ලද නිෂ්පාදක වගකීම්’ (Extended Producer Responsibility – EPR) විධිවිධාන සහ විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම.

• ජීවන චක්‍ර ප්‍රවේශය (Life-cycle Approach): නිෂ්පාදකයා, ආනයනකරු, වෙළෙන්දා, පාරිභෝගිකයා මෙන්ම අලුත්වැඩියාකරන්නා දක්වා සමස්ත දාමයම ආවරණය වන වගකීම් සහගත කළමනාකරණයක් ගොඩනැඟීම.

• බහුපාර්ශ්වීය සම්බන්ධීකරණය: රාජ්‍ය අමාත්‍යාංශ, රේගුව ඇතුළු නියාමන ආයතන, පළාත් පාලන ආයතන සහ පර්යේෂණ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් නවෝත්පාදන ප්‍රවේශයන් දිරිගැන්වීම.

තාක්ෂණික දියුණුවත් සමඟ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් පරිවර්තනය හමුවේ, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) යනු හුදු කසළ විශේෂයක් පමණක් නොවේ. නිසි කළමනාකරණයකින් තොරව පරිසරයට එක්වුවහොත් එය බරපතළ පාරිසරික සහ සෞඛ්‍යමය තර්ජනයක් වන අතරම, විද්‍යාත්මක ප්‍රතිචක්‍රීකරණය හරහා නැවත ආර්ථික වටිනාකම් උත්පාදනය කළ හැකි සම්පතකි.

තිරසාර ඩිජිටල් සංවර්ධනයක් යනු පාරිසරික අඛණ්ඩතාව සුරකින සංවර්ධනයකි. ඔබ සතු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම විද්‍යුත් උපකරණයක් පරිසරයට අනාරක්ෂිතව බැහැර නොකර විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත පමණක් යොමු කරමින් ජාතික හරිත මෙහෙයුමට දායක විය හැකි බව ද පරිසර අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website