COP31 සඳහා ශ්‍රී ලං සූදානම පිළිබඳ තුර්කි තානාපති සහ පරිසර ඇමති අතර සාකච්ඡාවක්

තුර්කි ජනරජයේ තානාපති සහ පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා අතර සුහද හමුවක් අද (12) දින පරිසර අමාත්‍යාංශයේදී සිදු විය.

මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුති සමුළුවේ 31 වන සැසිවාරය (COP31) සඳහා වන සූදානම පිළිබඳවය. එම සමුළුව 2026 නොවැම්බර් 9 සිට 20 දක්වා තුර්කියේ අන්තාලියා නගරයේදී තුර්කිය සහ ඕස්ට්‍රේලියාව අතර ඒකාබද්ධ සහයෝගීතාව යටතේ පැවැත්වීමට නියමිතය.

සමුළුවේ සාකච්ඡා හා අදාළ කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ සක්‍රීය දායකත්වය සහතික කිරීමේ අරමුණින්, අමාත්‍ය මට්ටමේ නියෝජනයක් සහිත ඉහළ පෙළේ ශ්‍රී ලාංකික දූත පිරිසක් සහභාගී කරවන ලෙස තානාපතිවරයා විශේෂයෙන් ඉල්ලා සිටියේය.

තුර්කිය සහ ශ්‍රී ලංකාව යන දෙරටේම සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම, පොසිල ඉන්ධන මත රඳා පවතින අතර, රට තුළ ස්වභාවික වායු හෝ ඛනිජ තෙල් සම්පත් නොමැති වීම හේතුවෙන් මුහුණ දෙන බලශක්ති අභියෝග පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ. දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට සාර්ථකව මුහුණ දීම සඳහා අනුවර්තන මූල්‍ය පහසුකම් සහ දේශගුණික මූල්‍යකරණයේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. මීට අමතරව, COP31 සමුළුවට අදාළව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ මුලපිරීම් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගන්නා ලදී.

ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) වැඩසටහන පිළිබඳව ද මා විසින් තානාපතිතුමා දැනුවත් කරන ලදී.

පාරිසරික සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා රට තුළ ක්‍රියාත්මක වන පුළුල් වැඩපිළිවෙළේ කොටසක් ලෙස එම වැඩසටහනේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

සාකච්ඡාව අවසානයේදී, දේශගුණික විපර්යාස ක්ෂේත්‍රය තුළ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, විශේෂයෙන් COP31 සමුළුව කේන්ද්‍ර කර ගනිමින් පොදු පාරිසරික අරමුණු සහ අනාගත දේශගුණික ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමටත් දෙපාර්ශ්වය එකඟතාව පළ කළහ.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම මෙම හමුවේදී යළිත් තහවුරු විය.

මෙම හමුවට පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා, පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website