තමා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ බව කියන අතුරුදැන් කිරීම් බොහොමයක් ගැන තමාට දැන් මතකයක් නැති බවත් මෙම සියලු චෝදනා දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් කරන ඒවා බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසුවේය.
“මේවා අවුරුදු 15කට පමණ පෙර සිද්ධ වෙච්ච සිද්ධි. ඒවා ගැන කරුණු සොයලා බලලා සූදානම් වෙලා මම අද ආවේ නෑ,” ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසුවේය.
2011 වසරේ දෙසැම්බර් මස 10 වන දා සමාජ ක්‍රියාකාරිකයින් වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවකට අදාලව “සූම්” ඔස්සේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි දෙමින් ගෝඨාභය රාජපක්ෂ මේ බව කියා සිටියේ ය.
අතුරුදන්වන්ගේ ඥාතීන් විසින් මෙම පැමිණිල්ල යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන අතර එහි සාක්ෂිකරුවෙකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ නම් කර තිබේ.
තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දීමට නොහැකි බවත් යාපනය හැර අන් ඕනෑම අධිකරණයක සාක්ෂි දීමට තමන් සූදානම් බවත් ගෝඨාභය රාජපක්ෂ මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.
ඒ අනුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.
පැමිණිල්ලේ නීතිඥවරයා කීත් නොයාර් පැහැර ගැනීම ඇතුළු සිදුවීම් ගැන දිගින් දිගටම රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළේය.
“මේවා අවුරුදු 15කට පමණ පෙර සිද්ධ වෙච්ච සිද්ධි. ඒවා ගැන කරුණු සොයලා බලලා සූදානම් වෙලා මම අද ආවේ නෑ,” ඔහු පැවසුවේය.
පැමිණිල්ලේ නීතිඥවරයා කරන සියලු චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සියලු චෝදනා අසත්‍ය බවත්, ඒවා දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සහ රටේ නම විනාශ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඒවා බවත් කීවේය.
මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම නොවැම්බර් මස 27 දක්වා කල් තැබීමට තීන්දු කළ අධිකරණය එදින අධිකරණය හමුවේ සාක්ෂි දීම සඳහා පෙනී සිටිනටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නියෝග කළේය.
















