
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර හමුවක් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි ප්‍රවණතා පිළිබඳව මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා, ක්ෂේත්‍රය යළි ශක්තිමත් කරමින් එහි තිරසර වර්ධනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ශ්වකරුවන්ගේ අදහස් සහ යෝජනා ද විමසා සිටියේය.
වත්මන් ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී සිටින ප්‍රධාන අභියෝග සහ ගැටලු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර, එම ගැටලු සඳහා කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම වෙනුවෙන් රජයට සිදු කළ හැකි මැදිහත්වීම් පිළිබඳවද අවධානය යොමු විය.
ඉදිකිරීම් ක්ෂේත්‍රය රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ සංවර්ධන ක්‍රියාවලියට සෘජුව දායක වන බැවින්, එහි පවතින බාධා හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දෙමින් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














