විදේශ විනිමය රෙගුලාසි හා නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි සහ විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එම රෙගුලාසි සහ නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ එම කාරක සභාවේදී, විදේශ ආයෝජන, විගාමිකයන් විසින් අරමුදල් විදේශයන් වෙත මාරු කිරීම සහ විදේශ විනිමය රටින් පිටතට ගලා යාම පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ විධිවිධාන පිළිබඳව කරුණු විමසා බැලීය.

මෙම කාරක සභා රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු  සහභාගී වූහ.

මෙම රැස්වීමට මුදල් අමාත්‍යාංශය, රේගු දෙපාර්තමේන්තුව, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු  සහභාගී වූහ.

මෙහිදී 2026 අංක 01 දරන විදේශ විනිමය රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන් විසින් විදේශයන්හි සිදු කරන ආයෝජන සම්බන්ධයෙන් පවතින විධිවිධාන පිළිබඳව අවධානය යොමු විය. විදේශ ආයෝජන සඳහා සුදුසුකම් ලබන තැනැත්තන්, ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර සහ විදේශයන් වෙත ප්‍රාග්ධනය යොමු කිරීමේදී අදාළ වන සීමාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම, දේශීය සමාගම්වලට විදේශයන්හි සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට ඇති අවස්ථා සහ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් ද  අවධානය යොමු විය.

2026 අංක 02 දරන විදේශ විනිමය රෙගුලාසි සම්බන්ධයෙන් විගාමිකයන්ට ශ්‍රී ලංකාවේ පවතින වත්කම් විදේශයන් වෙත මාරු කිරීමේදී අදාළ වන ක්‍රමවේද සහ සීමාවන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම, විගාමික දීමනාව යටතේ ප්‍රාග්ධනය විදේශයන් වෙත මාරු කිරීම සහ කුලී ආදායම්, පොලී සහ ලාභාංශ වැනි වත්මන් ආදායම් විදේශයන් වෙත ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් පවතින විධිවිධාන පිළිබඳව ද කාරක සභාවේදී කරුණු පැහැදිලි කෙරිණි.

මේ අතර, විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ආර්ථික තත්ත්වය සහ විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, විදේශ විනිමය රටින් පිටතට ගලා යාම කළමනාකරණය කිරීම සඳහා පවතින තාවකාලික සීමාවන් පිළිබඳව මහ බැංකු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරන ලදී. 

ආර්ථික තත්ත්වය යහපත් වීමත් සමඟ එම සීමාවන් ක්‍රමානුකූලව ලිහිල් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව එම නිලධාරීහු කාරක සභාවට වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසූහ.

අපනයනකරුවන් පෙර වසරේ මෙරටට ගෙනන ලද  අපනයන ආදායම් සහ එම ආදායම්වලින් කොටසක් විදේශ ව්‍යාපාර ව්‍යාප්තිය සඳහා භාවිත කිරීමට ලබා දී ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා වූ අතර, දේශීය ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සිය කටයුතු පුළුල් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද කරුණු ඉදිරිපත් විය..

එමෙන්ම, විදේශ විනිමය අවිධිමත් ලෙස රටින් පිටතට ගලා යාම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සහ ඒ සඳහා පවතින අධීක්ෂණ ක්‍රමවේද පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. ආනයන හා අපනයන සම්බන්ධ බැංකු සහ රේගු දත්ත අතර පවතින පරස්පරතා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම, විදේශ විනිමය අවභාවිතය වැළැක්වීම සඳහා ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

තවද, දේශීය ඉදිකිරීම් ඇතුළු සමාගම් විදේශයන්හි ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමේදී අවශ්‍ය වන බැංකු ඇපකර සහ අනෙකුත් මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් පවතින සීමාවන් පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවේදී නීති රීති දැඩි කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ සාමාජිකයින්  අවධානය යොමු කළ අතර   ආර්ථික වර්ධනයට බාධාවක් වන පරිදි අනවශ්‍ය රෙගුලාසි පැනවීම තුළින් ව්‍යාපාරිකයන් අධෛර්යමත් වීමේ අවදානමක් පවතින ඔවුහු පෙන්වා දුන්හ. විනිමය රටින් පිටතට ගලායාම සීමා කිරීම හේතුවෙන් රට තුළට පැමිණෙන විනිමය ප්‍රමාණයද අඩුවිය හැකි බව එහිදී අදහස් දක්වමින්  සභාපතිවරයා පෙන්වා දුන්නේය.

රෙගුලාසිවල ඇමරිකානු ඩොලර් මිලියන 2ක් ලෙස සටහන් කර තිබියදී, නියෝගයේ ලැයිස්තුගත (listed companies) සමාගම් පුළුල් කිරීම සඳහා එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 0.75ක් ලෙස සඳහන් කිරීම සම්බන්ධයෙන්ද සභාපතිවරයා ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින්, මෙම ඇමරිකානු ඩොලර් මිලියන 0.75ක සීමාව මාස 6කට පමණක් බලපැවැත්වෙන බවත්, එය 2027දී ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවත් විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ. එලෙසම, ලැයිස්තුගත නොවන (non-listed companies) සමාගම් සඳහා මෙම සීමාව ඇමරිකානු ඩොලර් මිලියන 0.2ක් වන බව ද ඔවුහු සඳහන් කළහ.

විදේශ විනිමය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සීමාවන්ට වඩා වැඩි විදේශ විනිමය පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව කටයුතු කළ හැකි බවයි. එහිදී ව්‍යාපාරයේ ශේෂ පත්‍රය (balance sheet) පදනම් කර ගනිමින් එම අනුමැතිය ලබා දෙන බව ද පැහැදිලි කෙරිණි. කෙසේ වෙතත්, එවැනි අනුමැතිය ලබා ගැනීමේ අවස්ථාව ඉහළ වත්කම් සහිත ව්‍යාපාරවලට වැඩි වශයෙන් හිමිවීමේ ඉඩකඩක් පවතින බවට ද මෙහිදී අදහස් පළ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website