මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් මුදා ගැනීමට දෙමාපියන් සෘජුව දැනුවත් කිරීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කරන්න – ජනපති
මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා දෙමාපිය – දූදරු ශක්තිමත් සබඳතාව මත බවත්, එබැවින් මෙම ව්‍යසනයේ බරපතළකම සහ දරුවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳ දෙමාපියන් සෘජුව දැනුවත් කරමින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් සක්‍රීයව දායක කර ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා පිහිටුවන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමිනි.
තම දරුවා මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳ දැනුවත් කිරීමට දෙමාපියන්ට විශ්වසනීය පුද්ගලයෙකුගේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එවැනි අවස්ථාවලදී සාමාන්‍යයෙන් ගුරුවරයෙකුගේ හෝ ආගමික නායකයෙකුගේ සහාය ලබා ගැනීම සිදුවන බැවින්, ඒ පිළිබඳ අවධානය යොමු කර විශ්වසනීය මගපෙන්වීමක් ලබා දිය හැකි ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්, ගුරුවරුන් ඒ සඳහා යොදා ගන්නේ නම් විශේෂ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ බෙදාහැරීමේ ජාලය බිඳ දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් පුළුල් කරමින් එහි කටයුතු කාර්යක්ෂම කිරීම හේතුවෙන් දෛනිකව ලබා ගන්නා රස පරීක්ෂක වාර්තා ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවත්, සැප්තැම්බර් මාසය තුළ පමණක් මත්ද්‍රව්‍යවලට අදාළ රස පරීක්ෂක වාර්තා 8,000ක් අවසන් කර ඇති බවත්, නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව දත්ත ඇතුළත් කිරීමේ කටයුතු සක්‍රිය කර තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරිණි. රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම කාර්යක්ෂම වීම හේතුවෙන් මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව බන්ධනාගාරගතව සිටින පිරිසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇප මත මුදා හරිමින් බන්ධනාගාර තදබදය අවම කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බවද අනාවරණය විය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මත්ද්‍රව්‍ය පාලන නව පනත ඔක්තෝබර් පළමු සතියේදී කමිටුවට යොමු කර අනුමැතිය ලබාගෙන, ඔක්තෝබර් මාසයේ 03 වන සතිය වන විට පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
පොලිසිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය එකිනෙකට සම්බන්ධ කෙරෙන මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් සහ මෘදුකාංගයක් නිර්මාණය කිරීමේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර එහි පවතින ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
2025 අංක 07 දරන පනත ප්‍රකාරව, විශේෂඥයන්ගේ සහ රජයේ රස පරීක්ෂක වාර්තා අධිකරණ වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ සෘජුව යොමු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම නීති කෙටුම්පත් කාර්යාලයේ නිලධාරී පුරප්පාඩු පිරවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.
මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම වෙනුවෙන් ජාත්‍යන්තර පසල් තුළ ක්‍රියාත්මක වැඩසටහන් සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳවද විමසා බැලිණි.
මත්ද්‍රව්‍ය භාවිතයේ භයානක ප්‍රතිවිපාක පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ තරුණ පරපුර ඉලක්ක කර ගත් වැඩසටහන් සකස් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම, යුද්ධයෙන් පසු උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය අභියෝගය සහ එය මැඩපැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදාහැරීම් සහ අදාළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා හඳුන්වා දුන් 1818 දුරකථනය අංකය සක්‍රීයව පවත්වාගෙන යාම සහ ජනතාව තුළ විශ්වාසය තහවුරු වන පරිදි “1818 අංකයට ලැබුණු තොරතුරු සඳහා දැක්වූ ප්‍රතිචාර පිළිබඳ ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ධාරිතාව ඉහල නැංවීම ඇතුළු පුනරුත්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.
















