ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය දා නිකුත් කරන ලද 2026 වර්ෂයට අදාළ සමාජ ආර්ථික දත්ත ඇතුළත් වාර්තාවේ බරපතළ ගැටලු පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) විශේස ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේය.
මෙහි දී විපක්ෂ නායකවරයා පැවසුවේ පැරණි යාවත්කාලීන නොවු දත්ත මත පදනම්ව මෙවැනි අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම රටත් ජනතාවත් නොමග යැවීමක් බවත්, මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය බාරගත යුතු බවත්ය.
විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසුවේය, මහ බැංකුව සහ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය සැප්තැම්බර් 28 වැනිදා 2026 වසරට අදාළ සමාජ ආර්ථික දත්ත ඇතුළත් වාර්තාවක් එළිදක්වනු ලදි.
නොවැම්බර් මස 2027 අයවැය ඉදිරිපත් වීමට නියමිතව තිබියදී නිකුත් කරන ලද මෙම වාර්තාවේ වැරදි අඩුපාඩු සහ දෝශ රැසක් දැකගත හැකි විය. මෙම වාර්තාව තුළින් රටේ ආර්ථිකය ස්ථාවර බවත් දුප්පත්කම අඩුවී ඇති බවට රට ඉදිරියේ සුන්දර චිත්‍රයක් මැවීමට රජය උත්සාහ ගත්තත් සැබවින්ම මෙම වාර්තාවේ දක්නට ඇති සමාජ ආර්ථික දත්ත 2016-2019 කාලයට අයත් පැරණි යාවත්කාලීන නොවු දත්ත වේ.
2027 වසරට අදාළ අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු නොකර දරිද්‍රතා රේඛාව නිශ්චය කර නොගෙන පැරණි යාවත්කාලීන නොවු දත්ත මත පදනම්ව මෙවැනි අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම රටත් ජනතාවත් නොමග යැවීමක් වේ. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය බාරගත යුතුය.

















