රු.70/-ක වතුර බෝතලය රු.100/-කට විකිණූ බණ්ඩාරවෙල ආහාර අලෙවිසැලකට රුපියල් මිලියනයක දඩයක්

බෝතල් කළ පානීය ජලය නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල නගරයේ ආහාර අලෙවිසැලකට රුපියල් මිලියනයක දඩයක් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අද (25) නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

බෝතල් කළ පානීය ජලය නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල නගරයේ ආහාර අලෙවිසැලකට රු.1,000,000/-ක (රුපියල් මිලියනයක) දඩයක් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත.

මිලර්ස් ලිමිටඩ්, බණ්ඩාරවෙල හෝටෙල්, කාගිල්ස් ගොඩනැගිල්ල, පළමු මහල (Food Court), වැලිමඩ පාර, බණ්ඩාරවෙල යන ස්ථානයේ සිදුකළ වැටලීමේදී, එවකට ක්‍රියාත්මක වූ අංක 2430/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 93 දරන නියෝගය යටතේ මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් සඳහා නියම කර තිබූ රු.70/-ක උපරිම සිල්ලර මිල ඉක්මවා, මිලිලීටර් 500ක බෝතලයක් රු.100/-කට අලෙවි කර තිබීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණි.

අදාළ නඩුව 2026.09.23 දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ආයතනයට රු.1,000,000/-ක දඩයක් නියම කරන ලදී.

රු.70/- යනු වැටලීම සිදුකළ කාලයේ පැවති උපරිම සිල්ලර මිලයි. එය වර්තමාන මිල නොවේ.

දැනට ක්‍රියාත්මක 2026.06.10 දිනැති අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව, මිලිලීටර් 500 බෝතල් කළ පානීය ජලය සඳහා වත්මන් උපරිම සිල්ලර මිල රු.80/-කි.

Food Court, හෝටල්, ආපනශාලා හෝ වෙනත් වෙළෙඳ ස්ථානයකින් මිලදී ගත්තද නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අය කළ නොහැක. මිල පරීක්ෂා කර බිල්පතක් ලබාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website