ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු සමාලෝචනය කරයි

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු පසුගියදා සමාලෝචනය කරන ලදී. 

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව  සලකා බැලිණි. 

මෙහිදී අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පැවසුවේ 2026 ජූනි 30 වන විට අපේක්ෂිත රේගු ආදායම රු මිලියන 1,060,559 ක් බවත් ඒ වන විට රුපියල් මිලියන 1,379,084 ක් උපයා ඇති බවයි. තව ද එය ප්‍රතිශතාත්මකව 130 %ක ප්‍රගතියක් බවද සඳහන් විය. මේ අනුව මෙම වසරේ සෑම මසකම අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවත් 2025 වසර සමග සංසන්දනාත්මකව බලන විට සෑම මසකම ඉහළ ප්‍රගතියක් ලබා ඇති බවටත් අදාළ දත්ත නිලධාරීහු මෙහිදී කාරක සභාවට ඉදිරිපත් කළහ

2026 වාහන ආයනයට අදාළ කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීහු පෙන්වා දුන්නේ 2026 ජූනි 30 වන විට  වාහන 316,000ක් ආනයනය කර ඇති බවත් ඒ අනුව රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ලැබී ඇති බවයි. ඉන් වැඩිම බදු ආදායම වන රු මිලියන 386,726  ක් ලැබී ඇත්තේ මෝටර් රථ ආනයනය මගිනි. එසේම වැඩිම රේගු ආදායම් ගෙන දුන් භාණ්ඩ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව තිබුනේ එන්ජින් ධාරිතාව 1000cc ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා වන අතර එම අගය රු බිලියන 137.4 කි. එය සමස්ත ආදාමෙන්  සියයට 9.96 ක ප්‍රතිශතයකි. 

එසේම ආනයනික බහාලුම් ප්‍රමාණයන් සහ ඒවා පරීක්ෂාවට ලක්වන ආකාරය, ශ්‍රී ලංකා රේගුවේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම, ආදායම් පරිපාලනයේ පවතින අභියෝග, ඉදිරි සැලසුම් ඇතුළු කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ද මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරන නි‍ලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website