වැදගත් පනත් කෙටුම්පත් තුනක් ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලේ

පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබෙන (දෙවැනි වර කියවීම) ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සලකා බැලිණි. 

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ  සභාපතීත්වයෙන් යුතුව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ හේෂා විතානගේ මහතා එදින නොපැමිණීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් කාරක සභාව පැවැත්විණි.  

1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසූහ. 

1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත මඟින්, වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, එකී පනතේ විධිවිධාන පරිදි  වයස අවුරුදු 16ට වැඩි එහෙත් 18ට අඩු තරුණ අය සේවයේ යෙදවීම සම්බන්ධයෙන් සේවා යෝජකයන් විසින් අනුගමනය කළ යුතු රෙගුලාසි පනවනු ලැබ ඇත. අදාළ පනත හා එකී පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසි අනුව, අදාළ වයස් සීමාවේ ළමයින් හා තරුණ අය සෞඛ්‍යයට, ආරක්ෂාවට හා සදාචාරයට හානි වන ආකාරයේ අනතුරුදායක රැකියාවක යෙදවීම දඬුවම් ලැබිය හැකි වරදකි. 

එකී පනත සඳහා 2003 වර්ෂයේදී සිදු කරන ලද සංශෝධනය මඟින් එම පනතේ විධිවිධාන අනුව වරදකරු වන පුද්ගලයෙකුට රුපියල් 10,000/- නොඉක්මවන දඩ මුදලක් හෝ මාස 12ක් නොඉක්මවන කාලයක සිර දඬුවමක් යන දෙයාකාරයකින් එක් ආකාරයක දඬුවමක් හෝ එකී දඩය සහ සිර දඬුවම යන දෙකම සහ අධිකරණයේ අභිමතය පරිදි අගතියට පත් දරුවා වෙනුවෙන් වන්දි මුදලක් ද නියම කිරීම සඳහා විධිවිධාන හඳුන්වා දී ඇත. එහෙත්, අදාළ දඩ මුදල් වටිනාකම ප්‍රමාණවත් නොවන බවට නිරීක්ෂණය කර තිබේ. 

එබැවින්, ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් සමඟ ද අනුගත වෙමින් 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනතේ 7(3), 13(2) හා 20(අ)(3) වගන්තිවල සඳහන් අවම දඩ මුදල් වටිනාකම යාවත්කාලීන කොට සංශෝධනය කිරීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ. 

උක්ත කරුණු අනුව මෙම සංශෝධනය කාලීන අවශ්‍යතාවක් බව කාරක සභා සභාපතිවරයා සඳහන් කළ අතර ඒ අනුව පනත් කෙටුම්පත සදහා කාරක සභාවේ අනුමැතිය හිමි විය.     

එසේම කාරක සභාවේදී කම්කරු අමාත්‍යාංශයේ 2024 සහ 2025 වර්ෂවලට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තා, කම්කරු දෙපාර්තමේන්තුවේ 2024 වර්ෂයට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාව,  මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ  2024 වර්ෂයට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ 2023 වර්ෂයට අදාළ  වාර්ෂික වාර්තාව සහ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ  2023 සහ 2024 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා සළකා බැලීම ද සිදුවිය. 

කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද කම්කරු අමාත්‍යාංශය ඇතුළු ඒ යටතේ ඇති ආයතන කිහිපයක නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website