2/3ක බලයක් ලැබුණට ඒ තුළින් ආධිපත්‍ය ක්‍රමයකට යා නොහැකියි – මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නීතියයි. එය සංශෝධනය කරන විට හෝ වෙනස් කරන විට මහජනතාව සමඟ සංවාදයක් තිබිය යුතුයි. මම මෙය තව දුරටත් පුළුල් ලෙස දැකීමට කැමතියි.

‘අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි’ කියන අදහස දීර්ඝ කාලයක් පුරා තිබෙනවා. 1994 සිට පසුගිය, 2024 ජනාධිපතිවරණය දක්වා මේ ඉල්ලීම පවතින අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙලා තිබෙනවා.

නමුත් මේ අවස්ථාවේ දී පුළුල් ලෙස සමාජ සංවාදයට ලක්ව තිබෙන සහ ආණ්ඩුව මේ වන විට ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර ඇති 22 වන ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කළේ ඇයි, එහි අවශ්‍යතාව කුමක් ද සහ එහි ප්‍රතිඵලය කුමක්  ද ? යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මම කැමතියි.

වර්තමාන ලෝකයේ සෑම රටකටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙන අතර එම රටවල් එය මූලික නීතිය වශයෙන් සලකනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ගැබ් වෙලා තිබෙන මූලික අදහස් වෙනස් වෙන්න පුළුවන්.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් මත ක්‍රියාත්මක වන අතර මේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම වැදගත් කොට සැලකිය යුතුයි. එයට හේතුව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම නොවැටහෙන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඇති වැදගත්කම ද වැටහෙන්නේ නැහැ.

වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ 1977 මහ මැතිවරණයෙන් 5/6ක බලයක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින්. මෙහි අදහස වන්නේ 1971 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හෝ වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ජනවරමක් ලැබුණ බවයි.

1971 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙතරම් කෙටි කාලයකින් වෙනස් කිරීමට හේතු වුණේ කුමන කරුණු ද කියා මෙහි දී අවධානය යොමු කළ යුතුයි. මෙම ව්‍යවස්ථාවෙන් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය පාර්ලිමේන්තුවට ලබා දුන්නා. මෙය සුදුසු නොවන බවට මතයක් තිබුණ නිසා තමයි 1978 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සිද්ධ වුණේ.

1978 ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ කුමක් ද කියා අප මීළඟට අවධානය යොමු කළ යුතුයි. එහි සඳහන් වන්නේ 1978 ව්‍යවස්ථාව ‘පුරවැසියාගේ සමානාත්මතාව, නිදහස, යුක්තිය සහ අධිකරණයේ ස්වාධීනත්වය, ජනතාවගේ පරමාධිපත්‍ය සහ ජනතාවගේ අයිතිවාසිකම් පිළිගන්නා බවයි”.
එය වැඩි දුරටත් කියනවා නිදහස්, යුක්තිය ගරු කරන සමාජයක් ගොඩනැගීමට මෙම වටිනාකම් අවශ්‍යයි කියලා.

ඒ නිසා වත්මන් ආණ්ඩුක්‍රමය පැරණි ඒකාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් බව අපි පිළිගත යුතුයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. නමුත් මෙය සංශෝධනය කිරීම ගැන සාකච්ඡාවක් වර්තමානයේ සිදුවෙනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා. එහි විශේෂ කරුණක් තිබෙනවා
 ඒක තමයි අධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම යන වයස වෙනස් කිරීම, නැතිනම් ඉහළ දැමීම. මේ ගැන මේ වන විට සමාජය තුළ සාකච්ඡා වෙනවා.

නමුත් මෙහි ඇති කණගාටුදායක තත්ත්වය වන්නේ එය දේශපාලන සාකච්ඡාවක් බවට පත්ව තිබීමයි. මෙම පසුබිම තුළ ස්වාධීන අදහස් වලට පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඇතුළු වෘත්තීය සංවිධානවලට, සිවිල් සමාජයට මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට අයිතියක් තිබෙනවා, ඒ වගේම ඒක ඔවුන්ගේ අයිතියක්. ඕනෑම වෘත්තියක තමන්ගේ වෘත්තියට අදාළ ගැටලු මතු වෙන විට ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා.

බහු පාර්ශ්වීය සාකච්ඡාවක්

නමුත් අපේ සමාජය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන බව, නීතියේ ආධිපත්‍යයට ගරු කරන බව පිළිගත්තට දේශපාලන එදිරිවාදීකම නිසා ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමට අමාරුයි. ඒක අඩුපාඩුවක් ලෙස සැලකිය හැකියි, ඒක වෙනස් කළ යුතුයි. එහිදී දේශපාලන එදිකාරීත්වය නොවෙයි ‘ස්වාධීන අදහස් පිළිගැනීමේ සාකච්ඡාවක් සිදු විය යුතුයි’, තිබිය යුතුයි.

මෙහි දී පැන නගින ප්‍රධාන ප්‍රශ්න වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වන විට එය බහු පාර්ශ්වීය සංවාදයක් බවට පරිවර්තනය කිරීමට නො හැකි ඇයි ද ? යන්නයි. නමුත් මගේ අදහස වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වන අවස්ථාවක පුළුල් සමාජ සංවාදයක් සිදුවීම අත්‍යවශ්‍ය බවයි.

මෙහි දී තවත් කරුණක් මතු කිරීමට මම කැමතියි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට එයට සමගාමීව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ද සංවාදයක් සිදු විය යුතුයි. එහෙත් මෙම සංවාදය ආරම්භ වන විට තවත් චෝදනාවක් එල්ල වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සංවාදයක් සිදු වන බොහෝ අවස්ථාවල එය ‘සුද්දගේ නීතිය’ අවඥාවට ලක්වීම වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අධිරාජ්‍යවාදයෙන් ලබාගත්, බටහිර සංකල්පයක් කියන අදහස අපේ සමාජයේ ඇතැම් පුද්ගලයින් තුළ තිබෙනවා.

මේ අදහස සම්පුර්ණයෙන් වැරදි අදහසක්. අපට 1505 සිට 1948 වන තෙක් අධිරාජ්‍යවාදීන්ට යටත්ව ජීවත් වීමට සිදු වුණා. නමුත් අපි 1948 දී පිළිගත්තා අපේ නිදහස ප්‍රකාශයට පත්කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ පාලනය වීමට කියලා. ඒ අදහස මේ වන විට සංකල්ප ගතවී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය යහපත් සංකල්පයක් ලෙස අපි පිළිගත් නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයට ගියේ.

බෞද්ධ සංකල්පය

ශ්‍රී ලංකාවේ අති බහුතරයක් ජනතාව පිළිගන්නා බෞද්ධ දර්ශනය තුළ ද ප්‍රජාතන්ත්‍රවාදී අදහස් තිබෙනවා. ජනතාවගේ, ප්‍රජාවගේ සහභාගීත්වය, ජනතාවගේ අයිතීන් ආදි වශයෙන් අදහස් බෞද්ධ දර්ශනය තුළ තිබෙනවා. බිරේන්ද්‍ර පෙරේරා කියන කථිකාචාර්යවරයා ඉතාම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා, මහා පරිනිබ්බාන සූත්‍රයේ ඉතාම පැහැදිලිව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංකල්පය අන්තර්ගත වෙනවා කියලා. රටක පාලනයට ප්‍රජාතන්ත්‍රවාදය, මහජන සහභාගීත්වය අවශ්‍යයි කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා කියලා ඔහු සඳහන් කරනවා.

මේ පසුබිම තුළ, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, යුක්තිය විදේශයන්ගෙන් රැගෙන ආ අදහස්, අධිරාජ්‍යවාදී අදහස් කියලා අපට පිළිගන්න බැහැ. ඒ චෝදනාව අපි ප්‍රතික්ෂේප කළ යුතුයි.

බලයට ඇති සීමාවන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුවකට, පාලකයින්ට බලය ලැබුණත් ඒ බලයට ඉතාම පැහැදිලි සීමාවන් තිබෙනවා. ඒ සීමාව තමයි පාලකයින්ට, ආණ්ඩුවට තම පුරවැසියන් වෙනුවෙන් ඉටු කළ යුතු ‘යුතුකම්’ තිබෙනවා. ඒ වගේම බලයේ අයිතිය සහ ඒ වෙනුවෙන් ඇති වගකීම් යන දෙකම මේ අවස්ථාවේ දී වැදගත් වෙනවා.

මෙහි අදහස වන්නේ යම්කිසි දේශපාලන පක්ෂයකට මහ මැතිවරණයක දී 2/3ක බලයක් ලැබුණට ඒ තුළින් ආධිපත්‍ය ක්‍රමයකට යා නොහැකි බවයි. එයට හේතුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එම බලය සීමා වන ආකාරය නියම කර තිබෙනවා.

නමුත් 1972 සිට බලයට පත් වූ ආණ්ඩු මේ සීමාව නොතකා කටයුතු කළ ආකාරයක් අපට දැක ගත හැකියි. 2/3ක බලයක් තිබුණ ආණ්ඩුව 1972  අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය පිළිගත් නමුත් පාර්ලිමේන්තුවට උපරිම බලතල ලබා දුන්නා, විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල පාර්ලිමේන්තුවට දුන්නා. මේ ක්ෂේත්‍ර තුනම පාර්ලිමේන්තුවට යටත් වුණා.

1978 දී 5/6ක බලය ලැබුණ ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යළි සම්මත කළා. ඒ ව්‍යවස්ථාවේ අදහස වුණේ කුමක් ද ?, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම. 1972 ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිගෙන තිබුණත්, ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අධිකරණ හමුවට ගිහින් මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් 78 ව්‍යවස්ථාව මූලික අයිතිවාසිකම් පිළිගත්තා පමණක් නොවෙයි, අධිකරණය හමුවේ ඒ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ද අවශ්‍ය ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සලසා තිබුණා. නමුත් මේ ව්‍යවස්ථාව අවසානයට කුමක් ද කළේ ?, විධායකයට අති විශාල බලතල ප්‍රමාණයක් ලබා දුන්නා. ඒක වෙනස් කරන්න තමයි 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ජනවරමක් ලැබුණේ. ඒ නිසා තමයි ඇය කිව්වේ “1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා’ කියලා.  ඇය ඒ පොරොන්දුව ඉටු කළා. 2000 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන වටිනා අදහස් ඒ ව්‍යවස්ථාවේ තිබුණා. මූලික අයිතිවාසිකම් ගැන, බලය බෙදීම ගැන වටිනා අදහස් එහි තිබුණා. නමුත් ඇයට ඒ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි වුණා. බලය බෙදීම ගැන ශක්තිමත් වගන්ති ඇතුළත් කිරීමට නීලන් තිරුචෙල්වම්, මහාචාර්ය ජී.එල්. පිරිස් මැදිහත් වුණා. නමුත් 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යථාර්ථයක් කර ගැනීමට අපට නොහැකි වුණා.

සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය විසින් සති පතා සංවිධානය කරන කතිකාව සංවාද මාලාවේ 285 වන කතිකාවේ දී මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියේ පළමු කොටස

සටහන – තුෂාල් විතානගේ

ඉතිරි කොටස හෙට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website