ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් 12 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කාලයක් තිස්සේ හමුවක් පිළිබඳ කතා වුවත් එයට අවස්ථා සැලසී තිබුණේ පසුගිය 12දාය. ජනපති හමු නොවුණත් නීතිඥ සංගමය තම ස්ථාවරය මුල සිටම කියා තිබිණි. නීතිඥ සංගමය ජනපති හමුවීමට දින නියම වී තිබියදී තමන්ගේ ස්ථාවරය කියමින් එදින පෙරවරුවේදී නිවේදනයක් නිකුත් කර තිබිණි.
සිය සංගමය 22වැනි සංශෝධනයට විරුද්ධ බවත් ජනවරමක් අවශ්‍ය බවත් මෙම සාකච්ඡාව තවදුරටත් සිදු කළ යුතු බවත් නිවේදනයේ සඳහන් වූ අතර නිවේදනයේ අග බාගයේදී සඳහන් කරුණුද පරස්පරය. මෙම සංශෝධනයට සිය සංගමය බරපතළ විරෝධය ප්‍රකාශ කරන බව පැවසුවද ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබීම එම පරස්පරයට හේතුවයි.
ජනාධිපතිවරයා සාකච්ඡාවේදී මුලින්ම එම නිවේදනය ගැන සිය අප්‍රසාදය පළ කළේය. තමන් සමඟ හමුවකට දිනය සහ වේලාව නියම වී තිබියදී එම හමුවට පැය කිහිපයක් තිබියදී සංගමයක් ලෙස එවැනි නිවේදනයක් නිකුත් කිරීම වෘත්තිකයින් නියෝජනය කරන සංගමයකින් බලාපොරොත්තු නොවන ක්‍රියාවක් බව ජනාධිපතිවරයා පවසා තිබිණි.
පැය 02කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේදී 22 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමද සිදු විය. රජීව්, සාවිත්‍රී, රියෙන්සි, ජෙෆ්රි ඇතුළු කිහිප දෙනෙක් පමණක් අදහස් පළ කළහ. ‘යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට වංචාවට දූෂණයට එරෙහිව ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයත් ප්‍රතිපත්තිගරුක ආණ්ඩුකරණය පිළිබඳවත් ඇතැම් නීතිඥයින් ජනාධිපතිවරයාට ප්‍රසාදය පළ කළහ.
නීතිඥ සංගමයේ නියෝජිතයින්ගේ අදහස්වල සාවදානවත් අතරින් පතර ප්‍රතිචාර දක්වමිනුත් අසා සිටි ජනාධිපතිවරයා 22 වෙනි සංශෝධනය පිළිබඳවත් ආණ්ඩුව ගෙන යන අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳවත් කතාබහ කිරීම ආරම්භ කළේය.
‘යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අධිකරණයෙන් පමණක් සිදු වෙන දෙයක් කියලා අපි හිතන්නේ නැහැ. එය විමර්ශන, නඩු පැවරීම, අධිකරණ යන සියලු අංශ ඒකාබද්ධ ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන සෑම ආයතනයක්ම ශක්තිමත් කළ යුතුයි. එම ආයතනවල පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. භෞතික සම්පත්වල අඩුවක් තියෙනවා. ඒ නිසා ඒ ආයතනවල මානව සම්පත ඉහළ නංවන්න ඕනෑ. වැටුප් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. එසේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා. අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම වගේම ජනතාවට පහසු වන පරිදි අභියාචනාධිකරණ කටයුතු පළාත්බදව ක්‍රියාත්මක කිරීමට අදාළ යටිතල පහසුකම් සැලසීමට පියවර ගන්නවා. ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කරන්න මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට සහ අධිකරණ සඳහා අවශ්‍ය භෞතික පහසුකම් ලබාදීමට අපේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ජනාධිපතිවරයා කියා සිටියේය.
‘මේ වෙලාවේ මාතෘකාව වෙලා තියෙන්නේ විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම ගැන විතරයි. ඒ සම්බන්ධයෙන් ගන්න තීරණය එක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඉලක්ක කරලා කරන දෙයක් නෙවෙයි. රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක්. මේ සංශෝධනය සමස්ත පද්ධතියේම ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණවල එක් පුරුකක් පමණයි. එය තමාගේ පුද්ගලික මතය හෝ රජයේ තනි මතයක් නෙවෙයි.’ ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කළේය.
‘ජනාධිපතිතුමනි ඔබතුමා මේ දේ කළොත් ඒක ජනතාව ඔබතුමා ගැන තියපු විශ්වාසය පළුදුවීමක් සිදුවෙන දෙයක් වෙන්න පුළුවන් නේද?’ නීතිඥ සංගමයේ නියෝජිතයෙක් ජනාධිපතිවරයාට කියා සිටියේය. ‘මම කරන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් සිදුකළ යුතු දෙයක්. ජනතාවට යහපතක් වෙන දෙයක් සිදුකරන්න මම ඕනෑම අවදානමක් බාරගන්න සූදානම්. මේ ප්‍රතිසංස්කරණ වලින් පස්සේ ජනතාවට රටට ලැබෙන ප්‍රතිඵලය දෙස අපි බලමු. එතකොට සියලු දෙනාට තේරෙයි අපි කළේ මොකක්ද කියලා.” ජනධිපතිවරයා දැඩි ලෙස කියා සිටියේය.
කෙසේ වෙතත් නීතිඥ සංගමය විසින් එදින පෙරවරුවේ ජනමත විචාරයක් ගැන සිය ලිපියේ සඳහන් කර තිබුණද ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී ජනමත විචාරණයක් අවශ්‍ය බවට කිසිදු අදහසක් ප්‍රකාශ කර නොමැත. නීතිඥ සංගමය නියෝජනය කරමින් විසි දෙකකට ආසන්න පිරිසක් පැමිණ සිටි නමුත් සභාපති ලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු හැර විධායක සභාවේ බහතරයක් පැමිණ තිබුණේ නැත. සංගමය නියෝජනය කරන සාමාන්‍ය සාමාජිකයින් ලෙස පැමිණ සිටි පිරිසක් වුවද මෙම සංශෝධනයට එරෙහිව මාධ්‍ය මගින් සෘජු අදහස් පළ කරන සාලිය පිරිස් ජනාධිපති නීතීඥවරයා පැමිණ නැත.
ආණ්ඩුව වෙනුවෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ජනාධිපති නීති උපදේශක නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර මෙම සාකච්ඡාවට එක්ව තිබිණි.
අධිකරණ ක්ෂේත්‍රයේ කරනු ලබන ප්‍රතිසංස්කරණ 22 සංශෝධනයට පමණක් ලඝු කරන්න ඉඩ දිය යුතු නැහැ
ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජාතික ජන බලවේගයේ මෙන්ම ජනවරමේ නීතිඥයෝ නියෝජනය කරන නීතිඥයින් පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත්වුණේ 22 සංශෝධනය අධිකරණ සංවිධාන පනත සහ දූෂණ විරෝධී පනත සංශෝධනය ආදිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කර ගැනීමටයි.
‘අලුත් තත්වය කොහොමද?’ ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිසගෙන් විමසීය.
‘ජනතාවගෙන් මේ සංශෝධනවලට අකමැත්තක් නෑ. අපි බිමේ වැඩවලට සහභාගිවෙන කොට ජනතාවගේ පැත්තෙන් වංචාවට දූෂණයට එරෙහි සටහනට ලොකු ප්‍රසාදයක් තියෙනවා. ගිය සති අන්තයේ අපි කාන්තා සභා රැස්වීම්වලට සහභාගි වුණා. ඒ සාකච්ඡාවලදී ජනතාව අපිට කියන්නේ තියෙන නීති තද කරලා දූෂිතයින්ට දඩුවම් දෙන්න කියලා. සමහරුන්ට මත්ද්‍රව්‍ය ප්‍රශ්නය විශාල ලෙස බලපාලා තියෙනවා. ඒකට විරැද්ධ ක්‍රියාමාර්ගවලට ජනතාවගේ ප්‍රසාදයක් තියෙනවා.’ ලක්මාලී මන්ත්‍රීවරිය අදහස් පළකරමින් කියා සිටියාය.
‘ඔව් නීතිඥයින් සංගමය ඇතුළු නීතිඥ වෘත්තියේ නියැලෙන ඇතැම් අය අතර 22 සංශෝධනයට ඒ කියන්නේ විශ්‍රාම වයස වැඩි කරන එකට යම් විරෝධයක් තිබුණට විනිසුරුවරුන් ප්‍රමාණය වැඩි කරන එකට, මහාධිකරණ ප්‍රමාණය වැඩ කරන එකට විරෝධයක් නැහැ. ඇතැම් අයට තියෙන්නේ මේක හදිසියේ ගෙන්වා කියන ප්‍රශ්නය විතරයි. තවත් අය කියන්නේ විනිසුරුවරුන් බඳවා ගැනීම ප්‍රමාද කරන්නේ ඇයි කියන ප්‍රශ්නය. අපි ඇත්ත තොරතුරු හරියට සමාජ ගත කළොත් මේක සංශෝධන ගැන හොඳ ප්‍රතිචාරයක් ලබාගන්න බැරි වෙන එකක් නෑ.’ ආචාර්ය කෞෂල්‍ය ආරියරත්න කියා සිටියාය.
‘සෝෂල් මීඩියා තුළ ඉන්න ක්‍රියාකාරීන් නම් මේ සිදුවෙන සංශෝධනවලට ඉතාම කැමැත්තෙන් ඉන්න බව පෙන්වා. එකම කාරණය වෙන්නේ නීතිඥ සංගමයේ විරෝධය නිසා ඇතැම් නීතිඥයින් එලියේ මේ ගැන කතා නොකරන එක. තනි තිනියෙන් හමු වුනාම නීතිඥයින්ගේ විරෝධයක් මේ කාරණාවලට එල්ල වෙන්නේ නැහැ. ඇතැම් විනිසුරුවරුන්ට දීමනා ප්‍රශ්න වැටුප් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒවා ගැනත් අවධානය යොමු කරන්න පුළුවන්නම් හොඳයි. මේ ක්ෂේත්‍රයට දක්ෂ වෘත්තිකයින් ගෙන්වා ගන්න වැඩපිළිවෙළක් තිබුණොත් හොඳයි’ වෛද්‍ය නජිත් ඉන්දික යෝජනා කළේය.
ඔව්, අපි මේ කරන්න යන දේ විධිමත් විදියට රට ඉදිරියේ සාකච්ඡා කරන්න ඕනෑ. මොකද ගොඩක් වෙලාවට අපේ කතාවේ සම්පූර්ණ චිත්‍රයක් සමහරුන්ට නැහැ. මේකේ සාරය හරි විදියට සාකච්ඡාවට ආවාම කාගේවත් විරෝධයක් එල්ල වෙන්නේ නැහැ කියලා මම හිතනවා. නීතිඥ සංගමය වුණත් විශ්‍රාම වයස දීර්ඝ කරන එකට විරෝධයක් නැහැ. කරන ආකාරය ගැන, කාලය ගැන තමයි ඒ අය විවේචන එල්ල කරන්නේ. ප්‍රතිපත්තියක් ලෙස සංගමයේ විරෝධයක් නැහැ කියලයි හිතෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරනකොට ඒ වගේ තර්ක විවේචන එල්ල වෙනවා. ඒක සාධාරණයි. ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
‘ඒ වගේම අපි දූෂිතයින්ට දඩුවම් දෙන වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කරන ආණ්ඩුවක් කියන එක ජනතාව දන්නවා. ඒ වෙනුවෙන් තමයි අධිකරණ ක්ෂේත්‍රයේ මේ සංශෝධන වෙන්නේ. ව්‍යවස්ථා සංශෝධනය, අධිකරණ සංවිධාන පනත සංශෝධනය විතරක් නෙවෙයි අපි කාලයක් තිස්සේ කරගෙන ආපු වැඩ කොටසක් තියෙනවා.
බන්ධනාගාරවල තදබදය වැඩි වෙලා තියෙන්නේ අද ඊයේ නෙවෙයි. අපේ ආණ්ඩුව කාලේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කළ නිසා ප්‍රමාණය වැඩිවීමකුත් තියෙනවා. නමුත් අපිට වැටලීම් නතර කරන්න බෑ. බන්ධනාගාර තුල නොසන්සුන්තාවයට තදබදය හේතුවක් වෙන්න පුළුවන්. අපි ඒ සම්බන්ධයෙනුත් දැනටමත් සැලසුම් හදලා තියෙනවා.’ ජනාධිපතිවරයා අධිකරණ ඇමති දෙස බලමින් කියා සිටියේය.
‘ඔව් මේකට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයත් බලපානවා. අපි ඒකට වැඩපිළිවෙලක් හදල තියෙන්නේ. ජනාධිපතිතුමා අපිට ආරක්ෂක අංශවල සහාය ලබා දුන්නා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අපි කාර්ය මණ්ඩල බදවාගැනීම් සිදුකරමින් යනවා. ඒ වගේම රාත්‍රී වැඩමුරයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මාසයකට රස පරීක්ෂක වාර්තා 9000ක් පමණ ලබාගන්න අපි උත්සහ කරනවා. බන්ධනාගාරවල මේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා විශාල පිරිසක් රඳවා ගන්න සිදුවෙලා තියෙනවා. අපිට මාසෙට 9000ක් වාර්තා ආවොත් සැලකිය යුතු පිරිසක් බන්ධනාගාරවලින් ඉවත් කර ගන්න පුළුවන්. ඒ නිසා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ප්‍රවාහන පහසුකම් ආරක්ෂක අංශ මගින් ලබාදෙනවා. දත්ත ඇතුල් කරන්න පිටතින් සහාය ලබාගෙන තියෙනවා. ඒ නිසා රසපරීක්ෂක වාර්තා කඩිනම් වේවි.” හර්ෂණ නානායක්කාර කියා සිටියේය.
‘ඒ විතරක් නෙවෙයි ඒ වාර්තා ඊමේල් මගින් උසාවියට වාර්තා කරන්න පහසුකම් සහ අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා. දැන් ඒ වාර්තා යන එක වේගවත් වෙලා. වෙනදට වාහන දාලා වාර්තාව අතේ අරන් යන්න ඕන. ඒ වගේම පොලිසිය බන්ධනාගාරය හොඳ සම්බන්ධීකරණයක් හදලා තියෙනවා. එතකොට වාර්තා එන ලිස්ට් එක අනුව බන්ධනාගාරයෙන් රැඳවියන් උසාවියට රැගෙන එනවා. ඇප දිය හැකි අයට එදිනම ඇප ලබාදෙන්න පුළුවන්.” ජනාධිපතිවරය තවදුරටත් විස්තර කළේය.
ඒ විතරක් නෙවෙයි අපි අවධානය යොමු කරලා තියෙනවා අභියාචනාධිකරණය නඩු තාවකාලික පදනමින් පළාත්වලදී විභාග කරන්න. එක් අභියාචනාධිකරණ සභාපතිවරයෙක් යටතේ පළාත්වල තාවකාලික අභියාචනාධිකරණ මගින් නඩු අහලා අවසන් කරන්න අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේ මහාධිකරණ 10ක් පමණ අලුතෙන් ස්ථාපිත කරන්න යෝජනා වෙලා තියෙනවා. එතකොට ව්‍යවස්ථා සංශෝධනය සහ පනත සංශෝධනයෙන් පස්සේ මහාධිකරණ විනිසුරුවරුන් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ප්‍රමාණය වැඩි වුණාම බඳවා ගැනීම් වැඩි වෙනවා. මහේස්ත්‍රාත්වරුන් බඳවා ගත්තම එතනින් එහාට ඉහළ අධිකරණවලට උසස්වීම් ලබාදෙන්න පුළුවන්. ඒ වගේම අධිකරණ ක්ෂේත්‍රයේ අනෙකුත් කාර්ය මණ්ඩල අලුතෙන් බඳවාගන්න මුදල් වෙන් කරලා තියෙන්නේ. අලුත් ගොඩනැගිලි ඉදි කරනවා. ඔන්ලයින් නඩු අහන්න කටයුතු සම්පාදනය වෙනවා. විනිසුරුවරුන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් අවධානය යොමු වෙනවා. මේ හැම දෙයක් ගැනම සංවාදයක් එන්න ඕනෑ. ජනාධිපතිවරයා අවධාරණය කළා.
ඒ වගේම අපි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අලුතෙන් පිරිස් බඳවා ගන්නවා. ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම ගැන අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ වගේම අපි පොලිසිය අමතක කරලා නැහැ. පොලිසියේ පුරප්පාඩු 30000ක් විතර තියෙනවා. වර්ෂයක් පාසා දසදහස බැගින් බඳවා ගන්න සැලසුම් කරලා තියෙනවා. මොකද එක අවුරැද්දකට විශාල පිරිසක් පුහුණු කරන්න ඉඩ ප්‍රස්ථා නැහැ දැනට. පොලිස් නිලධාරීන්ට දීමනා වැඩි කරන්න අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම පොලිසියේ වෘත්තීයභාවය වැඩි දියුණු කරන්න ඔවුන්ගේ මානසික සෞඛ්‍ය වැඩි කරන්න ආණ්ඩුව අවධානය යොමු කරලා තියෙනවා. පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලක් අලුතෙන් ඉදිකරන්න අවධානයයොමු වෙලා තියෙවනවා. මේ සියලු දේවල් සමග තමයි මේ සංශෝධනය එන්නේ. අපි මේ කටයුතු කරගෙන යනකොට තමයි සමහර අවශ්‍යතාවයන් පැන නගින්නේ. මොකද මේ සියල්ල එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා අපි මේ සම්පූර්ණ කතාව ජනතාවට කියන්න ඕනෑ. ඒ වැඩේ අපේ මන්ත්‍රීවරුන් නීතිඥයින් මගින් පැහැදිලි වෙන්න ඕනෑ. ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
















