‘නඩුකාරයින් ප්‍රමාණය වැඩි කරනවාට විරුද්ධ වෙන්නෙත් නීතිඥයින්ම තමයි’ – මහාචාර්ය ජයදේව උයන්ගොඩ

අමෙරිකා එක්සත් ජනපදය පසුගිය ජූලි 04 වැනිදා සිය 250 වැනි ‘නිදහස් දිනය’ අති උත්කර්ෂවත් ලෙස සැමරුවේ ය. මෙම සැමරුව සමඟ ජාත්‍යන්තර මාධ්‍ය 1787 සැප්තැම්බර් දින සම්පාදනය කළ සහ 1788 ජූනි 21 වැනි දින සම්මත කළ එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළේය. ඔවුන් පෙන්වා දුන්නේ ලෝකයේ බලවත්ම ජාතිය බිහි කිරීමට පමණක් නොව ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ද එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ‘ගෝලීය ආදර්ශයක්’ වූ බවයි.

ශ්‍රී ලංකාවේ වත්මන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේ දී ද එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආදර්ශයට ගත් බව ප්‍රකට කතාවකි. නමුත් ශ්‍රී ලංකාවට තවමත් එමඟින් අපේක්ෂිත ආර්ථික හා දේශපාලන අභිලාෂයන් ඉටුකර ගැනීමට නොහැකි වූවා පමණක් නොව 78 ව්‍යවස්ථාව යල්පැන ගිය, සංශෝධනය කළ යුතු ලියවිල්ලක් ලෙස දීර්ඝ කාලයක් පුරා දැඩි විවේචනයට ලක්වේ.

වසර 250ක දීර්ඝ ඉතිහාසය පුරා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කර ඇති සංශෝධන ගණන 27කි. එහි පළමු  සංශෝධනය 1791 දී සිදු කළ අතර  27 වන සංශෝධනය 1992 දී සිදුවිය. නමුත් 1978 සිට 2023 දක්වා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වරක් සංශෝධනය කර ඇති අතර 22 වැනි සංශෝධනය ද මේ වන විට සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.

මෙම පසුබිම තුළ ලෝකයේ බලවත්ම ජාතිය බිහි කිරීමට මුල්ගල වූ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එය ගුරු කොට ගෙන සම්පාදනය කළ ද අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වූ ‘ජේ.ආර්ගේ ව්‍යවස්ථාව’ ගැන මහාචාර්ය ජයදේව උයන්ගොඩ කරන තුලනාත්මක විශ්ලේෂණයක් පහත පළ වේ.

අමෙරිකා එක්සත් ජනපදය සිය 250 වැනි නිදහස් දිනය සමරන විට එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනත් විශාල අවධානයක් යොමු වුණා.  දේශපාලන විද්‍යාඥයෙක් ලෙස ඔබ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දකින්නේ කෙසේ ද ?

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පසුගිය අවුරුදු 250 පුරාම අතිෂයෝක්ති වර්ණනා ඉදිරිපත් වෙලා තිබෙනවා. මේක කළේ ඇමෙරිකානු දේශපාලනඥයින්, මාධ්‍ය පමණක් නෙමෙයි, ලෝකයේ බොහෝ රටවල් මේක කළා. ඒ වගේම පාසල් පෙළ පොත්වලට පවා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨත්වය ගැන අදහස් ඇතුළත් කළා. ලංකාවේ පවා මේ තත්ත්වය දැක ගන්න පුළුවන්.

නමුත් එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යහපත් ලක්ෂණ මෙන්ම අයහපත් ලක්ෂණත් තිබෙනවා. අපි ඒවා හඳුනා ගත යුතුයි. තවත් වැදගත් කරුණක් තිබෙනවා, එක්සත් ජනපද ව්‍යවස්ථාවට මේ දක්වා සංශෝධන 27ක් පමණයි කරලා තිබෙන්නේ. ඒ කියන්නේ මේ ව්‍යවස්ථාව සම්මත වුණ මුල්ම යුගයේ, 1791 දී පළමු ව්‍යවස්ථා සංශෝධනය සිදු කළා. අවසාන ව්‍යවස්ථා සංශෝධනය, එනම් 27 වැනි ව්‍යවස්ථා සංශෝධනය 1992 දී සිදු වුණා.

මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් වෙනවා. ඒ අතර ප්‍රධාන කරුණ ලෙස සැලකෙන්නේ එක්සත් ජනපදයේ තිබෙන දේශපාලන ස්ථාවරභාවය. ඒ වගේම සමහරු මේ ව්‍යවස්ථාවේ ‘මැජික් බලයක්’ තිබෙනවා කියලත් කියනවා. මගේ අදහස අනුව මේ කියමන වැරදියි. ඒකට හේතුව තමයි එක්සත් ජනපදයේ දේශපාලන බලය හුවමාරු වෙන්නේ Democratic සහ Republican යන දේශපාලන පක්ෂ දෙක අතර පමණයි. මේ කණ්ඩායම් දෙක තමයි දීර්ඝ වාද විවාද සහ සාකච්ඡාවලින් පසුව ව්‍යවස්ථාව සම්පාදනය කළේ. මේ විවාදය දීර්ඝ කාලයක් තිබුණා කියලා තමයි කියන්නේ. රට ඒකීය විය  යුතු ද, පෙඩරල් විය යුතු ද ? ආදි වශයෙන් ඉතාම ගැඹුරින් මේ සාකච්ඡාව සිදු වුණා. මේ දීර්ඝ සාකච්ඡාවලින් පසුව ධනපති දේශපාලන මතවාදය නියෝජනය කරන Democratic සහ Republican යන පක්ෂ දෙක අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පොදු එකඟත්වයක් ඇති වුණා. ඒ වගේම තමයි එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරලා තියෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හැර වෙනත් කිසිම දේශපාලන පක්ෂයකට බලයට පත්වීමට නොහැකි වන ආකාරයටයි.

එක්සත් ජනපද මැතිවරණ ක්‍රමය අනුව ජනාධිපතිවරණය, ප්‍රාන්ත මැතිවරණය සහ කොන්ග්‍රස් මැතිවරණ තිබෙනවා. ඒ වගේම එක්සත් ජනපද මැතිවරණ ක්‍රමය අතිෂයින්ම සංකීර්ණයි. ඒ වගේම මෙම මැතිවරණවලට තරඟ කිරීමට විශාල ධනයක් අවශ්‍යයි. ඒ වගේම තමයි එක්සත් ජනපද මැතිවරණ ක්‍රමය සකස් කරලා තිබෙන්නේ බහුතර පොදු ජනතාවගේ මතය කිසිම ආකාරයකින් ප්‍රකාශයට පත් නොවන ආකාරයට. ඒක බොහෝම සූක්ෂම ලෙස සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. මේ කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයෝ, නීතිඥයෝ, විද්වතුන් කතා කරන්නේ නැහැ. නමුත් එක්සත් ජනපදයේ කෙටි කාලයක් ජීවත් වුණ කෙනෙක් පවා දන්නවා, එක්සත් ජනපද ව්‍යවස්ථාව හරි දැඩියි කියලා.  මධ්‍යම ආණ්ඩුවේ, ප්‍රාන්ත ආණ්ඩු සහ පළාත් පාලන ආයතනවල බලය තහවුරු වන ආකාරයට තමයි ඒක සම්පාදනය කරලා තියෙන්නේ. මේ හරහා තමයි එක්සත් ජනපදයේ දේශපාලන ස්ථාවරභාවය තහවුරු කරලා තියෙන්නේ.

පැහැදිලිවම ඔව්. යම් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය හෝ වෙනස් කරන්නේ සමාජ විප්ලවයක්, දේශපාලන විප්ලවයක් හෝ වෙනත් පංතියකට දේශපාලන බලය ගිය අවස්ථාවලයි. නමුත් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට තරම් ආර්ථික හා දේශපාලන කම්පන එක්සත් ජනපදය තුළ ඇති වුණේ නැහැ. දෙවැනි කාරණය තමයි, ඇමෙරිකානු අධිකරණයේ ක්‍රියාකාරීත්වය ව්‍යවස්ථාව ශක්තිමත් කිරීමට හේතු වුණා. ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන ආකාරයට ඇමෙරිකානු අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කරනවා. විශාල මහජන මතයක් ගොඩනැගෙන අවස්ථාවල අධිකරණය නිවැරදිව ඒ අවස්ථා කළමනාකරණය කර ගත්තා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමකින් තොරව ඒ වෙනස්කම් වලට ප්‍රතිචාර දැක්වීමට මේ අනුව හැකියාව ලැබුණා. උදාහරණයක් ලෙස කාන්තාවන්ට ඡන්ද බලය ලබාදීම, කළු ජනතාවට ඡන්ද අයිතිය ලබාදීම සිදු වුණේ ව්‍යවස්ථා සංශෝධනය හරහා නොවෙයි, ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම තුළයි. ඇත්තෙන්ම ලංකාවේ බොහෝ දෙනෙක් තේරුම් ගන්නවාට වඩා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බොහොම සංකීර්ණයි.

ඔව්. එක්සත් ජනපද ව්‍යවස්ථාව මඟින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස දැඩිව ආරක්ෂා කරලා තිබෙනවා. සෙනෙට් සභාවට හෝ කොන්ග්‍රසයට මේ අයිතිය සීමා කිරීමට හැකියාවක් නැහැ. විධායක ජනාධිපතිවරයාට මේ බලය පාලනය කිරීමට හැකියාව තිබුණත් ඒ බලය පාලනය කරන්න පුළුවන් ක්‍රමවේද තිබෙනවා. එ් අනුව මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිදුවෙලා තිබෙනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අමෙරිකානු ආණ්ඩුක්‍රමය තුළ ‘සියලු ජාතීන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරලා තිබෙනවා කියලා. කළු ජනතාවගේ, ස්ත්‍රීන්ගේ, සංක්‍රමණිකයින්ගේ මූලික අයිතිවාසිකම් අවශ්‍ය ප්‍රමිතියට සුරක්ෂිත කරලා නැහැ. මේවා ඓතිහාසිකව වගේම අදත් නොසලකා හැරලා තිබෙනවා. මෙහි අදහස තමයි එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නෛතික ලියවිල්ලක් ලෙස ඉකාම උසස්, නමුත් ප්‍රායෝගිකව ගත් විට සුළු ජාතින්ට, සංක්‍රමණිකයින්ට, කාන්තාවන්ට සහ කළු ජාතිකයින්ට එක්සත් ජනපද ව්‍යවස්ථාවෙන් හිමිවන රැකවරණය ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ ජීවත් වන කළු ජාතිකයින්ට සිවිල් අයිතිවාසිකම් ලබා ගන්න පුළුවන් වුණේ දීර්ඝ කාලය් පුරා කළ අරගලයක ප්‍රතිඵලයන් ලෙසින් පමණයි.

අයිතිවාසිකම් අහිමි ජනතාවට සාමකාමීව උද්ඝෝෂණය කරන්න පුළුවන්. නමුත් රාජ්‍ය විරෝධී තත්ත්වයකට යන්න කිසිම අවස්ථාවක් නැහැ. ඒ වගේම ඇමෙරිකාවේ පුද්ගලික නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහ නීතියෙන් දැඩිව ආරක්ෂා කරලා තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ එක්සත් ජනපදයේ පසුගිය කාලය තුළ නිර්මාණ වුණ යම් යම් දේශපාලන ප්‍රවණතාවල ප්‍රතිඵලයක්. එක්සත් ජනපදයේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් මහජනතාව අතර ඇති වුණ දේශපාලන විරෝධයේ ප්‍රතිඵලයන් හැටියට තමයි ට්‍රම්ප් බලයට පත් වුණේ. ඔහු ඉතාම පැහැදිලිව සාම්ප්‍රදායික දේශපාලනඥයින්ට වඩා වෙනස්, ඔහු ජනකාන්තවාදියෙක්. මහජනතාව කුලප්පු කරන දේශපාලනඥයෙක්. ඒ අනුව ජනකාන්තවාදියෙක්, මහජනතාව කුලප්පු කරන දේශපාලනඥයෙක් ලෙස සැලකෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලයට ඒමට අවස්ථාව ලැබුණා. මේ හරහා ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වලත්වය පැහැදිලි වෙනවා. ඒ දුර්වලකම තමයි එක්සත් ජනපදයේ දේශපාලන ව්‍යුහය මේ අවුලට පත් කළේ. පොදු ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලින් ඉටු නොවන විට, නියෝජනය නොවන විට තමයි සාම්ප්‍රදායික දේශපාලනයෙන් තොර පුද්ගලයෙක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වුණේ. ඔහු ඉතාම පැහැදිලිව මහජනතාව කුලප්පු කරන අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයෙක්. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ක්‍රමයේ සහ සාම්ප්‍රදායික දේශපාලන පංතියේ පරිහාණියේ ප්‍රතිඵලයක් ලෙස තමයි ට්‍රම්ප් වාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධියෙකුට බලයට ඒමට අවස්ථාව ලැබුණේ. ඔහු ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක්, අන්තවාදියෙක්, ආගම්වාදියෙක්, ජාතිකවාදියෙක්, වර්ගවාදියෙක් බව මේ වන විට මුළු ලෝකයටම ඔප්පු කරලා තිබෙනවා.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වැඩිම සංශෝධන ප්‍රමාණයක් කළේ ඒක සම්පාදනය කළ ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුවයි. නමුත් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ජනතාවගේ අවශ්‍යතා අනුව කළ සංශෝධන ගණන ඉතාම සිමිතයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කළේ ඉන්දියාවේ ඉල්ලීමටයි. ඒ වගේම මේ සියලු සංශෝධන අපේ රටේ දේශපාලන පංතියේ අවශ්‍යතා, න්‍යාය පත්‍රවලට අනුව සිදුකළ සංශෝධනයි. ඒ වගේම වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපේ දේශපාලන පක්ෂ අතර පොදු එකඟත්වයක් නැහැ. ඔවුන් කියලා දෙනාම මේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව, අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව කියනවා.

නමුත් එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර ද්විපාර්ශ්වික එකඟත්වයක් තිබෙනවා. උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ දක්ෂිණාංශික මහජන මතයක් තිබෙනවා ‘ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගම කළ යුතුයි’ කියලා. ව්‍යවස්ථාවේ 03 වැනි වගන්තියේ කියන්නේ එක්සත් ජනපදය නිරාගමික රාජ්‍යයක් කියලා. දක්ෂිණාංශිකයෝ දීර්ඝ කාලයක සිට මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටිනවා. නමුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මේ ඉල්ලීමට එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙතරම් උත්තරීතර වෙන්නේ එහි පවතින සුවිශේෂ ස්වභාවය නිසා. නමුත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙවැනි ද්වි පාර්ශ්වික එකඟත්වයක් ලැබී නැහැ. ඒ වගේම එක්සත් ජනපදයේ සහ ලංකාවේ පාලන රටාවන් දෙක, සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස්. මේ වෙනසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාවරත්වයට ඍජුව බලපානවා.

ඒකට හේතුව පැහැදිලියි. 1978 ව්‍යවස්ථාවෙන් බලය ලබා ගත් කිසි කෙනෙක් ඒ බලය තමන්ට අහිමි වෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. විධායක ජනාධිපති බලය ලබා ගත්ත කිසිම කෙනෙක් ඒ බලය ආපසු දෙන්න සූදානම් නැති බවයි මේ දක්වා අපි දැකලා තියෙන්නේ.

ඉහළ අධිකරණ, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමිය යුතුයි කියලා කාලයක් තිස්සේ ඉල්ලීමක් තිබුණා. ඒක අද ඊයේ ආව යෝජනාවක් නෙමෙයි, වත්මන් ජනාධිපතිවරයා කඩිමුඩියේ කළ යෝජනාවක් නෙමෙයි. මම පුද්ගලිකව හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කළ යුතුයි කියලා. ඒකට හේතුව තමයි ඔවුන් අදාළ ධූරවල සේවය කරන්නේ ඉතාම කෙටි කාලයක්. මම හිතන්නේ අවුරුදු 67ක් වුණා පස්සේ විශ්‍රාම යන ඉහළ අධිකරණ විනිසුරුවරුන් ඉන්නේ ලංකාවේ සහ පාකිස්ථානයේ පමණයි. මගේ පුද්ගලික අදහස තමයි ඉහළ අධිකරණවල විනිසුරුවරුන් විශ්‍රාම යන වයස අවුරුදු  75ක් කළ යුතුයි. අපි සාකච්ඡා කළ ඇමෙරිකාවේ ඉහළ අධිකරණවල විනිසුරුවරු විශ්‍රාම යන වයසක් දක්වලා නැහැ. ඔවුන්ට ස්ව කැමැත්තෙන් විශ්‍රාම යන තෙක් අදාළ තනතුරුවල ඉන්න පුළුවන්. මේ රටවල බොහෝ විට සිදුවෙන්නේ යම්කිසි කාලයකට පසු ඔවුන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීම හෝ ඉවත් වීමයි. නමුත් පහළ අධිකරණවල විනිසුරුවරුන්ට විශ්‍රාම යා යුතු නිශ්චිත වයසක් තිබෙනවා.

ලංකාවේ තිබෙන ගැටලුව තමයි අපේ ශ්‍රේෂ්ඨාධිකරණය  කුඩයි, විසඳීමට අති විශාල නඩු ප්‍රමාණයක් තිබෙනවා. අභියාචනාධිකරණයේ පවා අති විශාල නඩු ප්‍රමාණයක් තිබෙනවා. මම දකින ආකාරයට මේ ආකාරයෙන් නඩු ගොඩගැසීමෙන් වාසි ලබන එකම පිරිස තමයි නීතිඥවරු. නඩුකාරයින් ප්‍රමාණය වැඩි කරනවාට විරුද්ධ වෙන්නෙත් නීතිඥයින්ම තමයි. මම හිතන්නේ ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ සැලසුමට විරෝධතා ඇති වීම ස්වභාවිකයි. ඕනෑම අකාර්යක්ෂම ක්‍රමයකින් වාසි ලබන පිරිසක් ඉන්නවා. ඒ වගේම අධිකරණයට තිබෙන වගකීම තමයි ඉක්මනින් යුක්තිය පසිඳලීම. රෝම කියමනක් තිබෙනවා, ‘නඩු ප්‍රමාද වෙන තරමට යුක්තිය ප්‍රමාද වෙනවා’ කියලා. මේ කියනම ලංකාවට අදාළයි.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website