ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනයකර්ම රාජ්‍ය මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඓතිහාසික කළුතර බෝධිය අභියසදී අද (09) පස්වරුවේ පැවැත්විණි.

උපසම්පදා විනයකර්ම මහෝත්සවය අද (09) සිට ජූලි 22 දක්වා කළුතර කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙන අතර, සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසක් ඊට සහභාගි වීමට නියමිතය.

වසර තුනකට වරක් පැවැත්වීමට නියමිත මෙම රාජ්‍ය උපසම්පදා විනය කර්මය මෙවර පැවැත්වෙන්නේ වසර නවයකට පසුව වීම විශේෂත්වයකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනවාරි 01වනදා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ කළ ඉල්ලීමකට අනුව අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ වත්මන් රජය සිය රාජ්‍ය පාලනයේදී නිරන්තරයෙන් මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා සහ මගපෙන්වීම ලබා ගැනීමට කටයුතු කරන බවයි. එමෙන්ම, බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් රජයක් ලෙස සිදු කළ යුතු සියලු මැදිහත්වීම් නොඅඩුව සිදු කිරීමට රජය කැපවී සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහාමහෝපාධ්‍යාය, අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක, සාහිත්‍යශූරී, අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි මහානායක හිමිපාණන් වහන්සේ සහ මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනා සිදු කළහ.

“අමරපුර ශාස්ත්‍රීය සංග්‍රහය ද” මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website