
දිනේෂ් චන්දිමාල්ගේ වේගවත් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් සඳහා අවසන් උත්සාහයක නිරත වූ නමුත්, ජෝන් කැම්ප්බෙල් සහ බ්‍රැන්ඩන් කිංගේ නොදැවුණු අර්ධ ශතක හමුවේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය යටතේ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
දින පහක් පුරා පැවැති මෙම තරගයේදී දෙපිළේම පිතිකරුවෝ ලකුණු 1408ක් ලබා ගැනීමට සමත්වද්දී විටින් විට වර්ෂාවේ බාධා මධ්‍යෙය් පන්දු යවන්නෝද කඩුලු 28ක් ක් දවා ගනිද්දී මෙම ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීමත් සමඟ තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත් වූහ. මෙය ඔවුන්ට ටෙස්ට් තරගාවලි 11කින් පසු හිමි වූ පළමු තරගාවලි ජය වන අතර, ස්වදේශීය බිමේදී ටෙස්ට් තරගාවලියක් ජයගැනීමට ද වසර හතරකට ආසන්න කාලයකින් සටහන්වීම විශේෂත්වයක් විය.
ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් අවසන් දිනය ආරම්භ කළ ශ්‍රී ලංකාව ඉක්මනින් ලකුණු රැස් කර කොදෙව්වන්ට පීඩනයක් එල්ල කිරීමේ අභිප්‍රායෙන් පන්දුවට පහර දුන්නේය.සිව්වැනි දින අවසානයේ නොදැවී සිටි දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ අතර, එබැවින් ශ්‍රී ලංකාවට පළමු සැසිය අවසනදී පන්දුවාර 24කදී ලකුණු 139ක් රැස් කළේ පන්දුවාරයකට 5.79ක වේගයකිනි.
එහෙත් වේගවත් ලකුණු රැස් කිරීමට ගත් අවදානම හේතුවෙන් කඩුලු හයක් ශ්‍රී ලංකාවට ඉක්මනින් අහිමි විය. කමිඳු මෙන්ඩිස් (44), දිනේෂ් චන්දිමාල් (71), කුසල් මෙන්ඩිස් (02), ධනංජය ද සිල්වා (34), සොනාල් දිනූෂ (28) සහ ඉසිත විජේසුන්දර (10) සිය කඩුලු පූජා කළද, දිවා විවේකය වනවිට ශ්‍රී ලංකාව ලකුණු 281ක් ඉදිරියට පැමිණියේය.
දිවා ආහාරයෙන් පසුව තවත් පන්දුවාර කිහිපයක් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 300ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 302ක ඉලක්කයක් ලබා දෙමිනි.
එහෙත් කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ ජෝන් කැම්ප්බෙල් සහ බ්‍රැන්ඩන් කිං කිසිදු අවදානමක් නොගෙන ඉවසීමෙන් පිතිහරඹයේ නිරත වූහ. ජයග්‍රහණය හඹා යෑමට වඩා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරමින් තරගාවලිය රැක ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූ බව ඔවුන්ගේ පිතිහරඹයෙන් පැහැදිලි විය.
ශ්‍රී ලංකාවට කඩුල්ලක් දවා ගැනීමට ඉතා ආසන්න අවස්ථා දෙකක් උදා වූවත්, ඒ දෙකෙන්ම වාසනාවන්ත වීමට බ්‍රැන්ඩන් කිං සමත් විය. ප්‍රභාත් ජයසූරියගේ පන්දු හමුවේ කිං දෙවරක්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ බවක් පෙනී ගියද, පළමු අවස්ථාවේදී තෙවැනි විනිසුරු විමසීමේ පරීක්ෂණයෙන් පන්දුව කඩුල්ලට ඉහළින් ගමන් කරන බව තහවුරු විය. දෙවැනි අවස්ථාවේදී පන්දුව කඩුල්ලේ වැදෙන බව ‘බෝල්-ට්‍රැකින් තාක්ෂණයෙන්‘ පෙන්නුම් කළද, විනිසුරුගේ මුල් තීරණය වෙනස් කිරීමට එය ප්‍රමාණවත් නොවූ අතර, ‘විනිසුරු තීරණය හෙවත් අම්පයර්ස් කෝල්’ නීතියේ වාසිය කිංට හිමි විය.
අවසන් සැසියේ වර්ෂා බාධා දෙකක් ඇති වුවද ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය කඩිනමින් කටයුතු කිරීම නිසා තරගය නැවත ආරම්භ කිරීමට හැකි විය. කෙසේ වෙතත් පන්දුවාර 40ක් අවසන් වූ පසු දෙපිලේ නායකයෝ අතට අත දී තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීමට එකඟ වූහ.
ඒ වනවිට ජෝන් කැම්ප්බෙල් සහ බ්‍රැන්ඩන් කිං දෙදෙනාම නොදැවී අර්ධ ශතක වාර්තා කරමින් කොදෙව් ඉනිම කඩුල්ලක් නොදැවී ලකුණු 109ක් දක්වා රැගෙන ගොස් තිබුණි.
ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙනුවෙන් අවසන් දිනයේ අවදානම් සහගත තීරණ ගනිමින් සටන් කළද, දින පහ පුරා පිතිකරුවන්ට හිතකරව පැවැති තණතීරුව සහ කොදෙව් පිලේ ඉවසීම හේතුවෙන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූයේ තරගාවලියේ ගෞරවය බටහිර ඉන්දීය කොදෙව්වන් වෙත හිමි වෙමිනි.
ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 139.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 549 යි – (ළහිරු උදාර 188, නිශාන් මදුෂ්ක 06, දිනේෂ් චන්දිමාල් 01, කමිඳු මෙන්ඩිස් 84, ධනංජය ද සිල්වා 33, කුසල් මෙන්ඩිස් 69, සොනාල් දිනූෂ 92, මිලාන් රත්නායක 15, ප්‍රභාත් ජයසූරිය 17*, ඉසිත විජේසුන්දර 14, ජේඩන් සීල්ස් 98/2, ශමර් ජෝසප් 98/2, අල්සාරි ජෝසප් 98/1, ඇන්ඩර්සන් ෆිලිප් 72/1, ජස්ටින් ග්‍රීව්ස් 43/1, රොස්ටන් චේස් 99/1, කවෙම් හොජ් 26/1)
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම පන්දුවාර 165.5 කදී සියලු දෙනා දැවී ලකුණු 499 යි – (ජෝන් කැම්ප්බෙල් 72, බ්‍රැන්ඩන් කිං 17, කවෙම් හොජ් 31, අමීර් ජැංගු 09, ෂායි හෝප් 112, ජස්ටින් ග්‍රීව්ස් 180, රොස්ටන් චේස් 23, ඇන්ඩර්සන් පිලිප් 00, අල්සාරි ජෝසප් 13, ශමාර් ජෝසප් 05, ජේඩ්න් සීල්ස් 02*, අසිත ප්‍රනාන්දු 130/5, ප්‍රභාත් ජයසූරිය 131/3, සොනාල් දිනූෂ 29/1)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 49 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 251 යි – (නිශාන් මදුෂ්ක 20, ළහිරු උදාර 00, දිනේෂ් චන්දිමාල් 71, කමිඳු මෙන්ඩිස් 44, ධනංජය ද සිල්වා 34, සොනාල් දිනූෂ 28, කුසල් මෙන්ඩිස් 02, මිලාන් රත්නායක 20*, ඉසිත විජේසුන්දර 10, ප්‍රභාත් ජයසූරිය 07, අසිත ප්‍රනාන්දු 00*, අල්සාරි ජෝසප් 44/2)
බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 40 කදී කිසිවකු නොදැවී ලකුණු 109 යි – (ජෝන් කැම්ප්බෙල් 51*, බ්‍රෙන්ඩන් කිං 51*)














