ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (08 දා) ආරම්භ කෙරිණි. ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා කොළඹ, දඹුල්ල සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල කවුන්ටර තුනකින් මෙන්ම BookMyShow මාර්ගගත වේදිකාව ඔස්සේද මිලදී ගැනීමේ පහසුකම සලසා තිබේ.
ප්‍රවේශපත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අංක 01 පිවිසුම අසල සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රධාන පිවිසුම අසල පිහිටි කවුන්ටරවලින් දිනපතා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා මිලදී ගත හැකි අතර, තරගාවලිය අවසන් වන තෙක් එම කවුන්ටර විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අනුව ප්‍රවේශපත්‍ර මිල ගණන් වෙනස් වන අතර, කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 300, 1,000 සහ 1,500 ක් ලෙස මිල නියම කර තිබේ.
දඹුල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 300, 500, 1,000, 2,000, 2,500 සහ 3,000 ක් ලෙසද, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 400, 1,000, 2,500 සහ 5,000 ක් ලෙසද ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇත. එසේම, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 500, 1,000, 1,500, 2,500, 5,000 සහ 7,500 ක් ලෙස මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.
LPL තරගාවලියේ සමාරම්භක තරගය ජූලි 17 වැනිදා රාත්‍රී 7.30ට කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී ජැෆ්නා සහ ගෝල් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර, එදින තරගයට පෙර විශේෂ ඩ්‍රෝන් ආලෝක සංදර්ශනයක්ද සංවිධානය කර තිබේ.















